කෝටි 4000ක වන්දියක් කොන්ත්‍රාත් සමාගම් රජයෙන් ඉල්ලයි…

img_2442-1.jpg

වසර 2022 අප්‍රේල් මස 12 දින ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අත්හිටුවන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත් සමාගම් විසින් රුපියල් කෝටි 4000 ක පමණ (රුපියල් බිලියන 40) වන්දියක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඊට අදාළ ඉල්ලීම් මුදල් අමාත්‍යංශය වෙත මේ වන විටත් යොමුකර ඇතැයි ද වාර්තා වේ.

මෙලෙස වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීමේ ව්‍යාපෘතිය, කටුනායක ගුවන් තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි.

චීනයේ එම්.සී.සී සමාගම, ජපානයේ තායිසේ සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇක්සෙස් සමාගම යන ආයතන විසින් ඊට අදාළ වන්දි ඉල්ලීම් සිදුකර තිබේ. මෙයින් අධිවේගී මාර්ගය ඉදිකළ චීන සමාගම එදා සිට අද දක්වා දිනකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 02 බැගින් වන්දි ඉල්ලා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

වන්දි ගෙවීමට වඩා බරපතළ කරුණ වන්නේ මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේදී දැරූ වියදම සඳහා අය කරන ණය පොලිය කලින් නියම කළ 2% ක මට්ටමේ සිට ඉහළ දැමීමට අවශ්‍ය බව අදාළ ආයතන රජයට දන්වා තිබීමයි.

ඒ අනුව එකී ව්‍යාපෘති සඳහා ලබාගන්නා ණය වෙනුවෙන් දරණ පොලී වියදම ද විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි දැනගන්නට තිබේ.

උපුටා ගැනීම deshaya

About Author