මොළේ ඔපරේෂන් ගැලපෙන්නෙ මොළේ තියන සමාජයකටයි | Dr.Chula’ගෙන් සටහනක්.

img_2436-1.jpg

අල්ලස් කොමිෂමෙන් නියුරෝ සර්ජන් අල්ලපු එක වැරදිද කියල මගෙන් අහන්ඩ දෙයක් නෑ . මෙච්චරකල් එහෙම නොකරපු නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. හැබැයි දූෂණය සහ අක්‍රමිකතා කියන්නෙ දෙකක්.

අක්‍රමිකතා ගැන විවේචන කරන්න, ඕන ඔලමොට්ටලයෙකුට බෑ. වෙනස් ක්ෂේත්‍රයක් ගැන කියන්න ඕන නම් ඒකෙ තියෙන තාක්ෂණය දැනගෙන ඉන්න ඕනෙ. සාමාන්‍ය ක්ෂේත්‍රයක උනත් අමාරුවෙන් තමයි කරන්න පුළුවන්. විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ගැනනම් එයිට වඩා අමාරුයි. වෛද්‍ය විද්‍යාව ඊටත් වඩා අමාරුයි. ස්නායු වෛද්‍ය විද්‍යාව තවත් අමාරුයි. ස්නායු ශල්‍යකර්ම එතනිනුත් එහා. මොකද ඒක ඉතාම සංකීර්ණ, තාක්ෂණිකව අභියෝගී, වේගයෙන් වෙනස්වෙන, අධික ලෙස ප්‍රායෝගික ක්ෂේත්‍රයක් නිසා.

මේ හේතුව නිසා ස්නායු ශල්‍යකර්ම වගේ තාක්ෂණකව බහල ක්ෂේත්‍ර ගැන දියුණු සමාජවල අනිත් අය වාචාල දොඩවන්නෙ නෑ. එහෙම විනයක් හැදිල තියන්නෙ කොහොමද කියල මන් දන්නෙ නෑ. ඒ නිසා ඒ රටවල ජනමාධ්‍යවත්, අල්ලස් කොමිසමවත් මැදහත් වෙන්නෙ නෑ. මොකද ඒක හ‍රි අමනෝජ්ජයි සහ විහිලු සහගතයි. ඒක බාරදෙන්නෙ අදාල වෘත්තිය ආයතනයකට. (මෙතනනම් මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා. නීති පිලිබඳ මගෙ ප්‍රශ්නයක් මන් නීති ක්ෂේත්‍රයට දුන්න, එතන තියන බුද්ධිමය අසාර්ථකත්වයක් සහ වෘත්තිමිය අක්‍රමිකතාවයක්. එක කොහොමද කියනවනම් සරල වාක්‍යක නෛතික වටිනාකමයි සිවිල් නඩු විධාන සංග්‍රහයයි විනිසුරැට ඉදිරිපත් කරන්න උනෙත් මට, ලංකාවේ මිනිස්සු පව්. නීතීඥයන් සහ විනිසුරන් සම්න්ධ වෘත්තිය අක්‍රමිකතා අල්ලස් කොමිසමට කිව්වම ඒක එයාලට අදාල නෑ කිව්වා. ඒ ගැන බලන්ඩ ඕන වෘත්තිය ආයතනය තමයි අධිකරණ සේවා කොමිසම. එකෙනුත් කිව්වෙ මැදිහත් වෙන්න බෑ කියල. අන්න එහෙමයි අනිත් ක්ෂ්‍රේත්‍ර වල වැඩ වෙන්නෙත්.)

“මාධ්‍ය සහ අදාල ආයතන මහජන නොසැලකිල්ල සහ වෘත්තිය ඉරිසියාව අයුතු ලාභ ගන්න යොදා ගන්නවා…”

ස්නායු ශල්‍ය වෛද්‍යවරු ඔපරේෂන් කරහම මොළේ කෑලි ගලවනවද ?
ඔව් ඔව්, ඒක තමයි රුකියාව. ඕන කෑලි ඉතුරුකරලා එපා කෑලි ගලවනවා.

හොඳ ස්නායු ශල්‍ය වෛද්‍ය කෙනෙක් කියන්නෙ ලෙඩ්ඩුන්ට කවදාවත් මැරෙන්ඩ දෙන්නේ නැති කෙනෙකුටද ?
එහෙම උන් මේ ලෝකෙ නෑ . ඕනෑම මොළේ ඔපරේෂන් එකක අතුරු අබාධයක් විදියට ජීවිතේ නැතිවෙන්න පුළුවන් බව දන්නවා කියල අත්සන් කරේ නැත්තන් ලෝකේ කොහෙවත් ඔපරේෂන් එක කරන්නෙ නෑ.

ස්නායු ශල්‍ය වෛද්‍යවරු මොළේ මැරිච්ච ලෙඩ්ඩුන්ගේත් ඔපරේෂන් කරනවද ?

ඔව්. මමත් කරනවා. මේ කියන්නේ මැරිල එම්බාම් කරල ඉන්න මළමිනී පෙට්ටියෙන් නැගිට්ටවගෙන ඇවිත් ඔපෙරෂන් කරනවා නෙමෙයි. ICU එකේ මැෂින් වලට හයිකරලා ඉන්න ලෙඩ්ඩු හොඳවෙන්නෙ නෑ කියල තේරුනාම නිකම්ම මැෂින් එකෙන් ගලවන්න බෑ. මොකද උසාවියට ඕක තේරුම් කරනවට වැඩිය ලේසියි ටික කාලයක් හිරේ ගිහින් එන එක. ඒ නිසා මොළේ ලෙඩක් තියෙනවනම් මොළේ රැධිර පීඩනය එක නිසා නෙමෙයි බේරගන්ඩ බැරි කියල ඔප්පු කරගන්ඩ ඕනේ. ඒ වෙලාවට තමයි ඔය EVD බටේ දාල මස්තිෂ්ක තරලේද මොකක්ද එක එලියට දාල රැධිර පීඩනය නෝමල් කියල පෙන්නන්නෙ. එහෙමත් බැරිනම් ඔලු කට්ට ගලවනවා, සමහර වෙලාවට මොළේ කෑලිත් ගලවල බලනව. ගලවන කෑලි මන් දන්න තරමට ස්නායු ශල්‍ය වෛද්‍යවරු ගෙදර ගෙනියන්නෙ නෑ .


වැඩක් නැති බව දැන දැනත් ඕව කරන්ඩ තව හේතුවක් තමයි ලංකාවේ මිනිස්සුන්ගෙ ආකල්ප. දියුණු සමාජ වල ලෙඩාගේ තත්වය කිව්වම මිනිස්සු කැමති වෙනවා එතනින් එහාට මොකුත් නොකර ඉන්න. අනවශ්‍ය වියදම, සම්පත් අපතේයාම, තව ලෙඩෙකුට තියන චාන්ස් එක නැතිවීම වගේ දේවල් ගැන ඒ මිනිස්සු හිතනවා. මෙහෙ කොහොමද කියනවනම් ජනාධිපති ලේකම්ගෙන් ලියුනුත් අරන් එනවා. ස්නායූ ශල්‍ය වෛද්‍ය විද්‍යාව කියන්නෙ අධ්‍යාපනයක් නැත් විනයක් නැති දූෂිත සමාජයක අවධානම් වැඩිම රුකියාවක්.


මොළේ ඔපරේෂන් ගැලපෙන්නෙ මොළේ තියන සමාජයකට..!

සටහන | Dr. Chula kanishka (Con. Neurosurgeon)

About Author