එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සහ මාලිමාවේ නායකයින් අතර හමුවක්…

img_2381-1.jpg

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් Mr. Volker Turk මහතා ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක්

අද (26) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජාතික ජන බලවේගයේ නායකයින් පිරිසක් හමුවූහ.

මෙම හමුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් යන අය සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජන කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්  Mr. Volker Turk මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Mr. Marc Andre Franche මහතා, ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී (OHCHR) Mr. Rory Mungoven, මානව හිමිකම් නිලධාරී (OHCHR) Ms. Elaine Chan සහ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක (Sri lanka) Ms. Laila Nazarili සහභාගි වූහ.

ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජාතිවාදයෙන් තොරව පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා සිය සතුට සහ විශ්වාසය ජාතික ජන බලවේගයේ නායකයින් වෙත පළ කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ විශේෂ අවධානය යොමු විය.

ආණ්ඩුවක් ලෙස, ජාතික ජන බලවේගය නැවතත් ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ පීඩාකාරී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් ඇතිවීමට ඉඩකඩ නොතබන අතර එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ජාතික ජන බලවේගයේ නායකයින් අවධාරණය කළේ ය. විශේෂයෙන් ම අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමත්, ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම හමුවේ දී  ජාතික ජන බලවේගයේ නායකයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් වෙත අවධාරණය කළේ ය.

උපුටා ගැනීම The Leader News

Link: https://www.theleader.lk/news/33281-2025-06-26-16-17-55

About Author