වෛද්‍ය උපකරණ නීති විරෝධී ලෙස ආනයනය කළ සමාගමකට එරෙහිව නඩු

img_2560-1.jpg

ඇඟිල්ලට සිදුරු කර රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරන උපකරණ, මධ්‍යසාර අඩංගු විෂබීජ නාශක දියර සහ වෛද්‍ය ප්ලාස්ටර් ඇතුළු වෛද්‍ය උපකරණ නීති විරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් බම්බලපිටියේ පිහිටි සමාගමකට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේ අද දින නඩුවක් ගොනු කරන ලදී.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ විධිවිධානවලට අනුව, වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් අධිකාරියෙන් වලංගු ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකරණයට දන්වා සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන අංශය විසින් සිදු කරන ලද පරීක්ෂාවකදී, රුධිර පරීක්ෂණ උපකරණ, රෝගීන් සඳහා භාවිත කරන ප්ලාස්ටර් සහ රෝගීන් සඳහා භාවිත කිරීමට අදහස් කරන ලද මධ්‍යසාර මත පදනම් වූ මතුපිට විෂබීජ නාශක ඇතුළු ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ තොගයක් එම සමාගම විසින් ආනයනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

අවශ්‍ය ලියාපදිංචියකින් තොරව ආනයනය කරන ලද මෙම භාණ්ඩ දිවයින පුරා පිහිටි ඔසුසැල් වෙත බෙදාහැරීමට සූදානම් කර තිබූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේය.

මෙම වැටලීමේදී සමාගම් පරිශ්‍රයේ තිබී රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිරීක්ෂණය කරන උපකරණ 1,500කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක ආර්.ජී.එන්. වික්‍රමසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. මෙම නඩුවේ වගඋත්තරකරු ලෙස ෆාම් ඒඩ් (පෞද්ගලික) සමාගමේ හිමිකරු වන මොහොමඩ් රැම්සි මහතා නම් කර ඇත.

සැප්තැම්බර් 18 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුට නොතීසි නිකුත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *