සපතේරුවා

250526735_616180419796200_1082828562693246344_n

මේ අපූරු සපතේරුවා මට හමු වූයේ ගාල්ලේ කරාපිටිය බස් නැවතුම් පොළේ දී ය. මම ඔහු සොයා ගියේ කැඩීයාමට ආසන්නව තිබූ සැන්ඩලයක් අලුත්වැඩියා කර ගැනීමට ය.

මගේ අබලන් වූ එම සැන්ඩලය පරීක්ෂා කර බැලූ සපතේරුවා, පළමුවෙන් ම කළේ, මගේ සැන්ඩලයට ගැලපෙන හම් කෑල්ලක් සොයා ගැනීම ය. ඒ සඳහා ඔහු කැඩී ගිය සෙරෙප්පු බෑග් දෙකක් ම බිමට හැලුවේ ය. එසේ කර,ගැලපෙන ම සපත්තුවක් තෝරා, එයින් ගැලපෙන ප්‍රමාණයේ හම් කෑල්ලක් කපා ගත් සපතේරුවා, එය සූක්ෂ්ම ලෙස මගේ කැඩී ගිය සැන්ඩලය තුළට රිංගෙව්වේ ය. ඒ එය හොඳින් ඇලවෙන ලෙසට දෙපැත්තට ම ගම් ආලේප කිරීමෙන් පසුව ය. අබලන් වී ගිය තවත් තැනකටත් ඒ ආකාරයට ම, එම පිළියම ම කළ සපතේරුවා,ගම් වේලුන පසු, ඊට උඩින් හොඳ මැස්මක් ද දැම්මේ ය. තමා කළ කාර්යය නිමා කළ සපතේරුවා, සැන්ඩලය වටයක් කරකවා ද බැලුවේ ය. ඒ ඔහු කළ අලුත්වැඩියාව පෙනෙන්නට තිබේ දැයි බැලීමට ය. ඇත්තෙන් ම සැන්ඩලය කෑලි දමා මැසූ බවක් එළියට පෙණුනේ නැත. සපතේරුවා අති දක්ෂ ලෙස ම සිය කාර්යය ඉටු කර තිබිණි.

“මහත්තය අනික් සපත්තුවත් පොඩ්ඩක් බලමු ද?…”
සපතේරුවා මගේ කැඩී නොගිය සැන්ඩලය ද ඉල්ලාගෙන පරීක්ෂා කළේ ය. පසුව ඒ දෙස බැරෑරුම් බැල්මක් හෙළූ සපතේරුවා, කලින් සපත්තුව අලුත්වැඩියා කළ ආකාරයට ම එම සැන්ඩලය ද සැකසුවේ ය. සපතේරුවාගේ අදහස දැන් මට පැහැදිළි ය. ඔහුට අවශ්‍ය, නැති වැඩක් ද පටලවාගෙන, මගෙන් උපරිම මුදලක් ලබා ගැනීම ය.

“කීය ද බාසුන්නැහෙ ගාණ…?”
සපතේරුවාගේ කාර්යය නිමවීමෙන් පසු,අලුත්වැඩියා කළ සැන්ඩල් දෙක පළඳා අඩිය තබා,තව දුරටත් පරීක්ෂා කළ මම,සපතේරුවාගෙන් ගාස්තුව පිළිබඳව විමසුවෙමි.

“සර්! මට රුපියල් අසූවක් විතර දෙන්න!….”
සපතේරුවා ඔහුගේ ගාණ කීවේ මා පැළඳගෙන සිටි අලුත්වැඩියා කළ සැන්ඩලය යළිත් වරක් අතින් ඇද පරීක්ෂා කර බැලීමෙන් පසුව ය.

“අසූවක්….?”
“ඔව් සර්! මම වැඩේ ටොප් එකට කළා. පරණ වෙලා විසි කරන කල් ඕක ආයෙ කැඩෙන්නෙ නෑ සර්!..ඒක මට ෂුවර්!..”
“අසූවක් නෙවෙයි! හරියට ගාණ කියන්න!..”
මම සපතේරුවාගෙන් ඉල්ලා සිටියෙමි. ඒ ඇසූ සපතේරුවා අහිංසක ලෙස සිනාසුනේ ය.

“අසූවක් නං ගන්න ඕන! කමක් නෑ සර්! හැත්තෑවක් දෙන්න!…”
“එහෙම බෑ! හරියට ගාණ කියන්න..!”
මම යළිත් වරක් සපතේරුවාට කීවෙමි. එවර ඔහු හෙළුවේ බයාදු සිනාවකි.

“කමක් නෑ සර්! එහෙනං මට රුපියල් හැටක් දෙන්න..!
මොහොතක් සපතේරුවාගේ අහිංසක දෑස් දෙස බලා සිටි මම, ඔහුට රුපියල් දෙසීයක් දුන්නෙමි. ඇත්තෙන් ම පැයකටත් වැඩි කාලයක් වැය කර, ඔහු කළේ එම මුදලටත් වඩා වටිනා කාර්යයකි.

“වටින සපත්තු මහන්න ආපුවම අඩු ගණන් කියන්න එපා! ගොඩක් වෙලා යන වැඩක්නෙ ඔයා කරන්නෙ! දවසකට වැඩ කීයද කරන්න පුළුවන්…?”
මම ඔහුට පුංචි උපදෙසක් දුන්නෙමි.

“මිනිස්සුන්ට එහෙම ගණං කියන්න බෑ මහත්තය. ඉස්කෝලෙ යන ළමයින්ගෙ සපත්තු තමයි මං වැඩිපුර හදන්නෙ! ඉතින් ඒ දුප්පත් ළමයින්ට මම කොහොමද මහත්තය ගණං කියන්නෙ…?
ඒ එම සපතේරුවාගේ අදහස ය. ඔහුගේ ජීවිතයේ දැක්ම ය. සපතේරුවා සූක්ෂ්ම ලෙස කළ අලුත්වැඩියාව ඉහළින් ම අගය කළ මම, ඔහුට සමු දුන්නෙමි.

  • Lional Athukorala

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *