ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද පුපුරා යයි
ජපානයේ කියුෂු දූපතේ පිහිටි කිරිෂිමා ගිනිකඳු සංකීර්ණයේ කොටසක් වන ශින්මොඩේක් (Shinmoedake) ගිනි කන්දෙන් ජූලි 3 වනදා පස්වරු 3.37ට සුලු පිපිරීමක් සිදුවී ඇත.
මෙම පිපිරීමෙන් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 6.7ක් (මීටර් 6,700 / අඩි 22,000) ඉහළට අළු සහ දුමාරය උස්වී ගිය බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (Japan Meteorological Agency – JMA) පවසයි. දුම්රෝල් සහ දූවිලිවල විශාල ව්‍යාප්තියක් සලකුණු වී ඇති අතර, අවට ප්‍රදේශවලට අළු වැටීම් සිදුවන අවදානමක් පවතින බවත් වාර්ථා වේ.
ජුනි 27 වන දින සිටම ශින්මොඩේක් ගිනි කන්දේ ක්‍රියාකාරීතාව ඉහළ ගොස් තිබූ නිසා, JMA විසින් එදින ගිනිකඳු අනතුරු ඇඟවීම 2 සිට 3 මට්ටමට ඉහළ නංවා තිබුණි. මෙය ජනතාවට ගිනි කන්දට ආසන්න වීමෙන් වළක්වා ගැනීම සඳහා නිකුත් කළ සම්භාව්‍ය පියවරකි.
ප්‍රදේශික පාලන අධිකාරීන් සහ ආරක්ෂක අංශ එම ගිනි කන්දට ආසන්නව සිටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දී තිබේ. මෙවැනි පිපිරීම් මඟින් පවතින ජීවිත හා දේපළ හානි අවදානම් සඳහා සැලකිලිමත් විය යුතු බව විශේෂඥයින් පෙන්වා දෙති.
ශින්මොඩේක් ගිනි කන්ද 2011 සහ 2018 වසරවලද සක්‍රීය වීමෙන් විශාල පිපිරීම් සිදුකළ ඉතිහාසයක් ද ඇත.

