කොතරම් කයිවාරු ගැහුවත් ඉදිරි දවස් 14 තුළ අගමැති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

0
b0e6314311b1fc3c96f08e8d9704a9df

ඒකට ලොකු ම හේතුව වන්නේ මේ වන විට මහින්දට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී තිබීමයි. ඒත් ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින වෙනත් කිසිම කෙනෙකුටත් පැහැදිලි බහුතර බලයක් නොතිබීමයි. ඒ අනුව මහින්දගෙන් පසු පත්වන නව අගමැතිවරයා අනිවාර්‍යයෙන් ම බහු පක්ෂ එකඟතාවෙන් පත්වන අගමැතිවරයෙකු විය යුතුයි. මට තේරෙන විදියට විපක්ෂ නායකයා වන සජිත් ප්‍රේමදාස එහෙම බහු පක්ෂ එකඟතාවෙන් අගමැතිධූරය බාරගන්නා බවක් පෙනෙන්නේ නැහැ.

වේදිකාවල නැගලා මොන වීර කතා කිව්වත් සජිත්ට මේ වෙලාවේ අගමැතිධූරය භාර ගන්න බයක් තියෙන බව පෙනෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂය පැත්තෙන් අගමැතිධූරයට එක නමකුත් විපක්ෂය පැත්තෙන් තවත් නමකුත් යෝජනා වෙන්න ඉඩ තියෙනවා. දනට තියෙන විදියට ආණ්ඩු පක්ෂය පැත්තෙන් ඉදිරිපත් කරන්නට ලොකු ඉඩකඩක් ඇත්තේ ඩලස් අලහප්පෙරුම ගේ නමයි. විපක්ෂය පැත්තෙන් යෝජනා වෙන්නේ කාගේ නම ද යන්න මෙය ලියන වෙලාව වන විටත් ඒ තරම් පැහැදිලි නැහැ. ඒ කොහොම වුණත් බහු පක්ෂ එකඟත්වයකින් යුතු අන්තර්වාර ආණ්ඩුවක් හදනවා ඇරෙන්න පාර්ලිමේන්තු රාමුව තුළ මෙතැන සිට පියවරක්වත් ඉදිරියට යන්න විදියක් නැහැ.

අන්තර්වාර ආණ්ඩුවක මූලික අරමුණ විය යුත්තේ මේ මොහොතේ ලංකාවේ නොපමාව සිදුවිය යුතු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමයි. නමුත් මේ මොන දේ සිදු වුණත් ලංකාවේ සිදුවන පුරවැසි අරගලයේ කේන්ද්‍රීය ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂයි. ලංකාව බංකොළොත් වීමේ, ශ්‍රී ලංකා රාජ්‍යය කඩා වැට්ටවීමේ ප්‍රධාන චූදිතයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ මොන බල පෙරළිය සිදුවුණත් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම අනිවාර්‍යයෙන් ම සිදු විය යුතුයි. ගෝඨාභය ජනාධිපතිධූරය දරන තුරු ලංකාවේ සිහි කල්පනාව ඇති කිසිදු මිනිසෙකුට රටේ ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වේ යැයි සිතන්නට බැහැ.

ගෝඨාභය තමන් ගේ අවසන් තුරුම්පුරුව වශයෙන් කියනු ඇත්තේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමත් සමග තමන් ජනාධිපතිධූරයෙන් ඉවත් වන බවටයි. එහෙත් ජනමත විචාරණයක් නැතිව විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැකිද යන ප්‍රශ්නය එවිට පැන නගිනවා. මේ වෙනකොට ජනමත විචාරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් ලංකාවේ නැති නිසා ජනමත විචාරණයක් පවත්වන්නට පුළුවන් කාලයක් එනතුරු ගෝඨාභයට බලයේ එල්ලිලා ඉන්න පුළුවන් වෙනවා.

ඒ නිසා පාර්ලිමේන්තුවේ මොන ඔළුගෙඩි මාරුව සිදු වුණත් ගෝඨාභය ගෙදර යන තුරු ලංකාවේ සාමකාමී මහජන උද්ඝෝෂණ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේ ම අලුත් අන්තර්වාර ආණ්ඩුව හැදුණු පසු අනිවාර්‍යයෙන් ම පාර්ලිමේන්තුවේ කථානායකයා මාරු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. වත්මන් කථානායකවරයා යනු නිර්ලජ්ජිතව සිය තනතුරේ ගෞරවය රාජපක්ෂ පවුලට ලියා දුන් අයෙක්. ඔහු වැන්නෙකු තවදුරටත් කථානායක තනතුරේ තබාගැනීම රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමක්.

ඉන්පසු සිදුවිය යුත්තේ ගෝඨාභයට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා පියවර ගැනීමයි. අන්තර්වාර ආණ්ඩුවක් යටතේ ඒ සඳහා දැනට වඩා පුළුල් අවකාශයක් හැදෙනවා. එමෙන් ම එම දෝෂාභියෝගයට සහය දක්වන්නැයි පාර්ලිමේන්තුවේ සිටින සියලු ම මන්ත්‍රීවරුන්ට පුරවැසියන්ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල විය යුතුයි. ගෝඨා ගෙදර යන්නේ ම නැත්නම් ව්‍යවස්ථානුකූලව ගෝඨා ගෙදර යැවීම කෙරෙහි අප ඊළගට අවධානය යොමු කළ යුතුයි. “ගෝඨා ගෙදර යැවූ පසු රටට ඩොලර් ලැබෙනවාද” කියා තවමත් මේ දූෂිත, අසමත් පාලකයන්ට වහල්කම් කරන උන්මත්තකයෙකු ඇසිය හැකියි.

එයට දිය හැකි සරල ම පිළිතුර “ඔව්” යන්නයි.

රටේ ඩොලර් සංචිත වැඩි කරගන්නනම් කළ යුතු ප්‍රධාන ම දෙය ලංකාවේ මිනිසුන්ට වගේ ම ජාත්‍යන්තර ප්‍රජාවටත් විශ්වාස කළ හැකි පාලනයක් ලංකාවේ ස්ථාපිත කිරීමයි. ඒ සඳහා ස්ථාවර මනසක් ඇති පරිණත රාජ්‍ය නායකයෙකු රටට අවශ්‍යයි. ගෝඨාභය ගෙදර නොයවා එහෙම රාජ්‍ය නායකයෙකු පත් කරගන්න කිසිම හැකියාවක් නැහැ.

  • රසික ජයකොඩි

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *