මේ දූරියන් ගස් එල දරණා සමයයි.

0

Durian fruit hangs from a tree.

දූරියන් ගස් බහුල අපේ ගම්මානයෙහි රාත්‍රී කාලයට දූරියන් හොරෙන් ඇහිලීමේ කර්තව්‍යය එකල පටන් නිබඳවම සිදුවන්නකි. එබැවින් දූරියන් එල දරණා සමයට දූරියන් ගසෙහි අයිතිකරු විසින් නිසැකවම එහි රැකවල්ලා සිටිය යුතුය. දූරියන් ගසට යාබදව පැලක් තනාගනිමින් දිවා රාත්‍රී එහි හිඳිමින් අයිතිකරුවන් කෙතරම් රැකවල්ලා තිබුණද ඉතා සූක්ෂම අයුරින් දූරියන් ගෙඩි අහුලා ගැනීමේ කර්තව්‍යයෙහි නියැලීම කුඩාකල අත්විඳි රසබර මතකයකි.

පළමුව දූරියන් ඇහිඳීමට තෝරාගනු ලබන ගස පිහිටා ඇති ඉසව්වට දහවල් කාලයේ ගොස් රාත්‍රී කාලයේ එහි පහසුවෙන් ළඟාවිය හැකි අයුරු නිරීක්ෂණය කල යුතුය. අයිතිකරුගේ පැල පිහිටා ඇති ඉසව්ව මග හරවාගෙන ඔහුගේ නෙත් මානයට අසු නොවනා පරිදි දූරියන් ගස යටට ළඟාවිය හැකි පහසුම මග ඔස්සේ මෙහෙයුම දියත් කරණු ලබනුයේ මධ්‍යම රාත්‍රියටය. දහයකින් පහලොවකින් සැදුම්ලත් කොල්ලො කුරුට්ටන් රෑනක් දූරියන් ඇහිඳීමේ මෙහෙයුමට සහභාගි වෙති. නිවැසියන්ට නොදන්වා හොරරහසේ නිවසින් පිටව ඒමට සියල්ලෝම වගබලා ගනිති.

විදුලි පන්දම් දල්වා නොගෙන ඝන අන්ධකාරයේ එකා පිට එකා හැපෙමින් බිම වැටෙමින් බඩගාමින් දූරියන් ගස පිහිටා ඇති ඉසව්වට ලඟාවීම ඉතා අසීරුය. දූරියන් ගෙඩි බිම වැටෙනා ශබ්දය ඇසෙනා ඉසව්වට ලංවී අළුයම දෙක තුන වනතෙක් සැඟවී සිටිය යුතුය. ගෙඩියක් බිමට වැටෙනා ශබ්දය ඇසුනු සැනින් අයිතිකරු විසින් විදුලි පන්දම් දල්වා එලිය විහිදුවනු ලබයි. ඔහු කිසිසේත්ම ගෙඩිය අහුලවා ගැනීමට ගස යටට නොයනාබැව් සක්සුදක් සේ අපි දන්නෙමු. අයිතිකරු විසින් එලෙස විදුලි පන්දම දල්වනුයේ දූරියන් ගෙඩිය අහුලාගත් බව හැඟවීමටය. දූරියන් ගෙඩි ඉදී වැටෙනා ගසක් යටට ගෙඩි ඇහිඳීමට අලුයම් කාලයේ යාමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ එය මාරාන්තික ක්‍රියාවක් වන බැවිනි.

දූරියන් කෑමෙහි අධික ආශාවෙන් පෙළෙමින් ජීවිතයද පරදුවට තබාගෙන සැඟවී සිටි අප අලුයම් කාලයේ දූරියන් ගස යටට බඩගාමින් කෙමෙන් කෙමෙන් ලංවන විට අයිතිකරු සුව නින්දක පසුවෙයි. නමුත් එවෙලේම තව දූරියන් ගෙඩියක් වැටුණෝතින් ඔහු අවදිවෙන බැව්දත් අප අඳුරේ බිම අතපත ගාමින් හැකි ඉක්මනින් ගෙඩි අහුලාගන්නෙමු. දූරියන් ගෙඩියේ සුවඳට ඉව අල්ලාගෙන ගෙඩිය වැටී ඇති තැනටම අඳුරේ වූවද යාම ඉතා පහසුය. සුලු ශබ්දයකට අයිතිකරු අවදිවූවෝතින් ඔහු ගල් ප්‍රහාරයන් එල්ල කරනා බැවින් පියවර හඬද නෑසෙන අයුරින් දූරියන් ගෙඩි සෙවීමට සියල්ලෝම වගබලා ගත යුතුය.

අහුලා ගත් දූරියන් ගෙඩිවලින් හමනා සුවඳට පවා මත්වෙමින් ගස යටින් ඈතට ගොස් එකිනෙක පලු ගලවා රසවිඳිනා විට එතරම් මිහිරියාවකින් යුතු දූරියන් කිසිදිනයක නොකෑබැව් එකිනෙකා හා මුමුණමින් කෑ ඇට ඈතට විසිකරති. දූරියන් කා මදිවූ ඇතැමෙකු ලෙල්ලෙහි ගෑවි ඇති කොටසද ලෙවකයි. කෙතරම් කෑවද දූරියන් කෑමෙන් කිසිදාක තෘප්තිමත් විය නොහැකිය. පසුදින අවදි වී ගෙඩි අහුලාගැනීමට යන ගසේ අයිතිකරු වැටුනු ගෙඩි කොහිදැයි උඩබිම බලනු ඇත. බිම පහුරු ගා ඇති අයුරු දැක සොරුන් පැමිණ ගෙඩි අහුලාගෙන ගොස් ඇතිබැව් දැන සොරුන් ඇල්ලීම උදෙසා ඔහු යලි කිසිදිනක පාන්දර ජාමයේ වූවද ඇසිපිය පියාගන්නේනම් නැත. එබැවින් එකල අප එකවරක් කෑ දූරියන් ගසකට යලි නොගියෙමු. මෙම ගෙඩි සෑදිඇති දූරියන් ගස මාගේය. එය රැකීමට පැවරී ඇත්තේ මා හටය. කුඩාකල දූරියන් හොරෙන් ඇහිඳීමට ගියකල ලත් අත්දැකීම් ඇති බැවින් මෙම ගසෙහි එකදු දූරියන් ගෙඩියක්වත් හොරෙන් ඇහිඳීමට එනඋන් හට නොදීමට මා හට වගබලා ගැනීමට හැකි වන බැව් මා දනිමි.

දූරියන් කෑම වනාහි කොතෙකුත් කෑවද තෘප්තිමත් විය නොහැකි පළතුරු වර්ග අතරින් උසස්ම ගනයෙහි ලා තැබිය හැකි පළතුරකි. දූරියන් කෑමට ලොල් වූ අයෙකුට දූරියන් ගෙඩියකින් හමනා සුවඳ ඉමිහිරි සුවඳක් දනවන අතර දූරියන් නොකන අයෙකුට එය අප්‍රසන්න ගඳක් දනවයි. එබැවින් දූරියන් යනු අපූරු පළතුරකි. ඉමහත් ගුණයකින් යුතු දූරියන් කාම ශක්තියද ඔප් නංවන අතර දූරියන් කා එකල රජවරු බිසෝවරුන් හැඬවූ බැව්ද කියති.

මා සතුව ඇති මෙම දූරියන් ගස ගම්තුලානේ විශාලතම දූරියන් ගස වන අතර මෙය වැල වර්ගයට අයත් ගසකි. ඉමිහිරි ප්‍රනීත රසයකින් යුතු මෙම දූරියන් ගසෙන් එක් ගෙඩියක් කෑ පසු ඕනෑම අයෙකු වශීකරවන රසයකින් යුතු දූරියන් මෙහි සෑදේ. මෙවර ඵලදාව ගෙඩි පන්සීයකට නොඅඩු වන අතර ඉන් ගෙඩි සියයක් අකාලයේ බිම වැටුණහොත් ඉදී වැටෙනා ගෙඩි හාරසියයක් පමණ අහුලා ගත හැකිවනු ඇත. පළමුව වැටෙනා ගෙඩිය සඝසතු කොට පූජා කිරීම කිරිඅම්මාගේ කාලයේ පටන් පැවතගෙන ආ සම්ප්‍රදායයකි. ඉන් පසුව ගමෙහි සෑම නිවසකටම එක් ගෙඩිය බැගින් ගෙඩි දෙසීය පනහක් පමණ වෙන්කර දිය යුතුය. ගෙඩි තිහක් මාගේ ආහාරය පිණිස වෙන්කරවා ගන්නෙමි. ඉතුරු වන ගෙඩි දුරබැහැරින් පැමිණෙන හිතමිතුරන්ට හෝ තැපැල් මාර්ගයෙන් හිත මිතුරන් ආදීන්ට යැවිය හැකිය.

මෙම දූරියන් ගස මාගේ ඉඩමෙහි පිහිටා තිබුනද ගෙඩි සියල්ලම පාහේ වැටෙනුයේ අල්ලපු නිවසේ ඉඩමටය. එය තේ ගස් සාදවා ඇති ඉඩමකි. දූරියන් වැටෙනාවිට තේ අතු කැඩෙති. එබැවින් අසල්වැසි නිවැසියාට පොරොන්දු ප්‍රකාරව ගෙඩි දහයක් ලබාදීමට ගිවිස ගත්තෙමි. යම් හෙයකින් අසල්වැසියන් හා සිත් අමනාපව සිටියේනම් මෙම තත්වය මත දූරියන් අහුලාගැනීම සිහිනයකි.

දූරියන් ඉදී වැටෙනා කලට මගතොට හමුවන ගම්වාසීන් සොරෙන් දූරියන් ඇහිඳීමට එනබැව් මූණටම පවසති. ” අද රෑ එනවා මචන්. කට්ටිය සෙට් වෙලා ඉන්නේ” යැයි කියමින් භිය ගන්වන මුත් සැබැවින්ම ඔවුන් කොයි මොහොතක හෝ නිසැකවම පැමිණීමට ඉඩඇත. දූරියන් හොරෙන් ඇහිඳීමේ කලාව කාලයක් මුලුල්ලෙහි පැවතගෙන එන්නක් බැවින් එයට බාල මහලු භේදයක් නැත. ඉදී වැටෙනා දූරියන් ගෙඩියක් ඕනෑම මොහොතක අතුරුදහන් වීමට ඉඩඇත. එබැවින් වැටෙනා ගෙඩි රැක අහුලාගැනීම හිමිකරු සතු භාරදූර්‍ය කාර්‍යයකි. මෙවර පැලක් තනාගනිමින් දූරියන් රැකීමේ කර්තව්‍යයෙහි මා නියැළෙන අතර හොරෙන් ඇහිඳීමට එනඋන් හට ගල්මුල් ප්‍රහාර හෝ උගුල් ඇටවීමකින් තොරව ඒ සඳහා වෙනත් උපක්‍රමයක් යෙදීමට මා සැලසුම් කරඇත. එය දැන්ම හෙළි නොකරමි.

  • නුවන් රංග

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *