කයිසාරුවත්තේ මුහන්දිරම් සහ අපි අතරේ කොහේද වෙනසක්?

0

ඒ කාලේ කියවපු කතා පොත් අතරින් මම කැමතිම පොතක් තමයි මාටින් වික්‍රමසිංහ මහත්මයා ගේ ”ගම්පෙරළිය​”. පාරම්පරික මතිමතාන්තර සහ කුල ගර්වය වගේ පුහු ආකල්ප නිසා, ක්‍රමයෙන් පරිහානියට පත් වෙන වලව් පරපුරක කතාව මේ පොතේ හරි අපූරුවට විස්තර වෙනවා. වර්ථමාන ශ්‍රී ලංකාවටත් සිදු වෙලා තියෙන්නේ මේ වගේම දෙයක් කියලා වෙලාවකට හිතෙනවා.

කයිසාරුවත්තේ මුහන්දිරම් ආර්තිකව මොන තරම් පහල අඩියට වැටී සිටියත් ඔහුගේ මාන්නයේ නම් අඩුවක් තිබුණේ නැහැ. නන්දාට කපුවා විසින් රැගෙන එන දියුණු වෙන තරුණයා පිලිබඳ යෝජනාවට ඔහු විරුද්ධ වන්නේ ඒ හේතුව නිසාවෙන්.
”අපි කොහොමද කපු මහත්තයා, ඒ යෝජනාවට කැමති වෙන්නේ?. එයාගේ ආච්චී එළවළු කූඩේ ඔලුව උඩ තියාගෙන බඩු විකුණපු කෙනෙක් නේ”

පුහු මාන්නය නිසාම ඒ දිනෙන් දින දියුණු වෙන තරුණයා තම පවුලට සම්බන්ධ කර ගැනීම වෙනුවට​, මුහන්දිරම් කරන්නේ කිසිමාකාර ආදායම් මාර්ගයක් නැති ජිනදාසට නන්දා විවාහ කර දීමයි. ව්‍යාපාර කිරීම ගැන කිසිම අවබෝධයක් නැති ජිනදාස අන්තිමට වෙළඳාම් කිරීමට සිංහලේ ගොස් අකාලයේ මිය යන්නේ නන්දා තනි කරමින්.

මාන්නය වගේම පැරණි, යල් පැන ගිය අදහස් හිස මුදුනේ තබා ගැනීමත් මහගෙදර විනාශයට හේතුවක්. නන්දා අසනීප වූ වේලාවේ බලි තොවිල් සඳහා අසීමිතව මුදල් වියදම් කිරීම නිසා කයිසාරුවත්තේ මුහන්දිරම් තව තවත් ආර්තික ආගාධයට ඇද වැටෙනවා. නන්දා ගේ දරු උපත සඳහා බටහිර වෛද්‍යවරයෙක් ගෙන එන්නේ නැතුව​, කිසිම සුදුසුකමක් නැති වින්නඹු අම්මා කෙනෙක් විශ්වාස කිරීම නිසා ඇයට තම දරුවා අහිමි වෙනවා. මේ හැම දේකින්ම සිදු වෙන්නේ මහ ගෙදර තව තවත් පිරිහීම විතරයි.

සම්පූර්ණයෙන්ම බංකොලොත් වී සිටියත් මහ ගෙදර මිනිසුන්ගේ මාන්නය අඩු වෙන්නේ නම් නැහැ. සාදා අතේ අනුලාගේ රත්තරන් බඩු උකස් කඩයට හොරෙන් යවා සල්ලි හොයා ගත්තද​, වැස්සට තෙමෙන තැන්වලට හට්ටි තබමින් ගෙදර දියබත් වීම වලක්වා ගත්තද​, අවට ලෝකයාට තමන්ගේ දුප්පත් බව පෙන්වන්න මහ ගෙදර මිනිස්සු කැමති වුණේ නැහැ. අච්චරටම කෙල වී සිටියත් මාතර හාමිනේ ගමන් බිමන් ගියේ අශ්ව කරත්තයෙන්.

ඒත් අන්තිමට මහ ගෙදර මිනිසුන්ට තවදුරටත් ඒ මුක්කු ගැසීම කරන්නට බැරි වෙනවා. ”උන්ට කව්ද හිර දෙන්නේ??” කියා සිය පියා අතින් පහත් ලෙස ප්‍රතික්ශේප වූ පියල්ව කරකාර බැඳීමට අවසානයේ නන්දාට සිදු වෙනවා. ඒත් ඒ වෙද්දි ඇය ජීවිතයේ විඳින්නට වූ සියලු දුක් කම්කටොළු විඳ අවසානයි.

ලංකාවේ අපිත් අතීත ශ්‍රී විභූතිය සහ වසර දෙදහස් පන්සීයක් පැරණි ඉතිහාසය ඔලුව මුදුනේම තබා ගත් ජාතියක්. රට දියුණු කරන ඕනෑම වැඩපිලිවෙලක් පටන් ගනිද්දිම ඔය මාන්නය අපේ ඔලුවටත් ඉබේම එනවා.

”එහෙම කරන්න දෙන්නේ කොහොමද​?. මේක අපේ මුතුන් මිත්තෝ ලේ හෙලා රැක ගත් භූමිය​.පරදේශක්කාරයෝ මේක විනාශ කරන්න හදන්නේ. අපි මේකට විරුද්ධ වෙන්නම ඕනේ” දියුණු වෙන ලෝකයා එක්ක එකතු වෙලා ඉස්සරහට යන්නේ නැතුව හැමදාම වංශේ කබල් ගාන අපි, අපිට වඩා ගව් ගාණක් පිටිපස්සෙන් හිටපු කොරියාව​, මැලේසියාව​, වගේ රටවල් එන්න එන්නම දියුණු වෙන හැටි බලාගෙන මෙහෙම කියෝනවා.

”අපි නේ දන්නේ ඕවා ඉස්සර තිබුණ හැටි. අපේ මුඩුක්කු වලට ඉස්සර කිව්වේ කොරියාව කියලා”
ඉතින් කයිසාරුවත්තේ මුහන්දිරම් සහ අපි අතරේ කොහේද වෙනසක්?
සුදුසු අයට සුදුසු තැන නොලැබීම නිසා අපේ ආර්තිකයත් දැන් අර වින්නඹු අම්මා වගේ අය අතින් විනාස වෙලා. තොවිල් වගේ අනවශ්‍ය වියදම් නිසා ඒක තව තවත් ඇදීගෙන යන්නේ මරු කටට​. හැබැයි එච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාම බහුතරයක් දෙනාට වගේ වගක් නැහැ. බංකොලොත් වෙලා හිටියත් මාතර හාමිනේ ගමන් ගියේ අශ්ව කරත්තෙන් වගේ, අපේ අයටත් උඩින් මිසක්, බිමින් ගමන් යන්න බැහැ කියලා තමයි පේන්නෙ තියෙන්නේ. අනුලා රත්තරන් බඩු උකස් කලා වගේ අන්තිමට ඔය තියෙන දෙයක් විකුණලා තමයි කන්න බොන්නයි, මෝටඩ් මිල්ක් එකකුයි හොයා ගන්න වෙන්නේ.
සේරම හානිය වුණාට පස්සේ IMF එකට යන එක මට පේන්නේ නන්දා අන්තිමට පියල්ව කසාද බැන්ද විදියට. නන්දාට නම් ඊට පස්සේ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වුණා. අපිට නම් මොනවා වෙයිද කියලා දැන ගන්න වෙන්නේ කවුරු හරි ඒ ගැන තව අවුරුදු දහයකින් විතර පොතක් ලිව්වොත් තමයි. ඒක ලියන්න බාර දීලා තියෙන්නේ වික්‍රමසිංහ කෙනෙක්ටම වීම දෛවයේ සරදමක් වගේ!!!

  • Deepal Nanayakkara

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *