හඳුන් ගෙන් පොලිසියට ලිපියක්…

0

අධ්‍යක්ෂක,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ 01.
අධ්‍යක්ෂකතුමනි,
ව්‍යාජ ප්‍රවෘත්තියක් සම්බන්ධව කරනු ලබන පැමිණිල්ලයි.

මා ජනතා විමුක්ති පෙරමුණ නැමැති පිළිගත් දේශපාලන පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සාමාජිකයෙකු වන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු කෝප් කමිටු සභාපතිද වේ.

2021.10.17 වන දින ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි වල පළවූ සහ සංසරණය වූ ව්‍යාජ පුවතක් මගින් අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා “Ogilvy Digital” නැමැති ප්‍රචාරණ ආයතනයට භාරදී ඇති බවත් ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන පනහක් වන බවත්, ඉන් අඩක් හෙවත් රුපියල් මිලියන විසි පහක මුදලක් අත්තිකාරම් මුදලක් ලෙස මේ වන විටත් ලබාදී ඇති බවත් සඳහන් වී තිබිණ.

එම ව්‍යාජ පුවත සත්‍යක් බවට ඒත්තු ගැන්වෙන ලෙසට Ogilvy Digital නැමැති ප්‍රචාරණ ආයතනය විසින් අප පක්ෂය වෙත 2021සැප්තැම්බර් මස 05වන දිනැතිව නිකුත්කළා යයි හැඟෙන පරිදි ව්‍යාජ ලිපියක්ද පළ කර තිබිණ. එකී ව්‍යාජ මුද්‍රි ලිපියේ පළමුවන පිටුවෙහි “50% අත්තිවාරමක් ගෙවන්න”යනුවෙන් අත් අකුරෙන් ලියන ලද සටහනකට යටින් ජනතා විමුක්ති පෙරමුණ යනුවෙන් සඳහන් කර ප්‍රධාන ලේකම්, මුදල් ලේකම් සහ නිලධාරි මණ්ඩල සභික (එවැනි තනතුරක් අප පක්ෂයේ නොමැත.) ලෙස සඳහන් රබර් මුද්‍රාවක් තබා අත්සන් තුනක්ද කූඨ ලෙස යොදා ඇත.

අප පක්ෂය කිසිදු අවස්ථාවක අප පක්ෂයේ නායක අනුර කුමාර සහෝදරයාගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා Ogilvy Digital නැමැති ප්‍රචාරණ ආයතනයක් සමඟකිසිදු ගිවිසුමකට එළඹී නැති බව අවධාරණය කර සිටිමි. මෙමකූඨ ලිපිය සහ ව්‍යාජ ප්‍රවෘත්තිය වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රටේ ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇතිව ඇති ප්‍රසාදය දරාගත නොහැකි පාර්ශවයක් විසින් නිර්මාණය කරන ලද නොමඟ යවන සුළු වංචනික පුවතකි.

තවද එම ව්යාශජ පුවතට අදාළව වංචනික ලෙස සකස් කරන ලද ලිපියේ අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ, ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාගේ සහ මාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා තිබීම බරපතල වංචාවක් වන අතර එය කූඨ ලේඛන සෑදීම යන චෝදනාව යටතේ දඬුවම් කළ හැකි අපරාධය සංස්ථාපනය කිරීමක්ද වේ. එමෙන්ම Ogilvy Digital නැමැති ආයතනය විසින්ද මේ පුවත අසත්‍ය බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

ඔබගේ පහසුව පිණිස එම ව්‍යාජ ප්‍රවෘත්තියේ, කූඨ ලිපියේ සහ Ogilvy Digital නැමැති ප්‍රචාරණ ආයතනය විසින්ද මෙම ප්ර්වෘත්තිය අසත්‍ය බවට පළ කරන ලද පෝස්ටුවේ මුද්‍රිත පිටපත් සහපුවත්පත් මණ්ඩලේ සභාපති මහින්ද පතිරණ මහතා විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර අනතුරුව ඉවත් කරගන්නා ලද පෝස්ටුවේ ඡායාරූපයක් (screen shot) මේ සමඟ අමුණා ඉදිරිපත් කර සිටිමි.

විශේෂයෙන් මෙය පරිගණක අපරාධ පනතට ද වැටෙන වරදක් බැවින් එම පනත යටතේද විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටිමි.
එමෙන්ම මෙම ව්‍යාජ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ සබැඳිය ද සහිතව ඇමණුම් ලෙස මෙහි අමුණා ඇත. එම ව්‍යාජ පුවත පළකරන ලද පුද්ගලයන් අතර රජයේ ආයතනයක් වන පුවත්පත් මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන මහින්ද පතිරණ ද සිටින බැවින් මේ පිළිබඳව ද විශේෂ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිමි. මා එසේ ඉල්ලා සිටින්නේ පුවත් මණ්ඩලය යනු පුවත්වල ව්‍යාජ පුවත් පළ වූ වහාම ඒ පිළිබඳව පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව විමර්ශනය කරන ආයතනය බැවිනි.
ඇමණුම්

  1. එකී පුවත පළකරන ලද වෙබ් අඩවියේ සැබැඳිය X1 ලෙසද,
  2. එකී පුවතට අදාල Screen Shot X2 ලෙසද,
  3. එකී පුවත අසත්‍ය බව පළකරමින් Ogilvy Digital ආයතනය මගින් පළකරන ලද දැන්වීම X3 ලෙසද,
  4. මහින්ද පතිරණගේ Facebook පිටුවේ පළකරන ලද පුවතේ Screen Shot X4 ලෙසද,
  5. පුවතට අදාලව සකස් කර Whatsapp සමාජ මාධ්‍ය තුළ පළකරන ලද කූඨ ලේඛන X5 ලෙසද අමුණා ඇත.

මෙයට,
විශ්වාසී,
සුනිල් හඳුන්නෙත්ති

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *