නිහාල් නෙල්සන් ගැයූ චිත්‍රපට ගී විමසුම…
නිහාල් නෙල්සන් ගායන ශිල්පියා පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැතැයි සිතමි .මන්ද , ඔහු ගැන නොදන්නා කිසිවෙකුත් ඇතැයි මා නොසිතන බැවිනි. එනමුදු ඔහු චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ගැයු ගී අතලොස්ස වුවද ගැයූවේ, ආචාර්ය පන්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව ,විශාරද ගුණදාස කපුගේ, ඩී.ආර්.පීරීස්, සරත් දසනායක, එම්.කේ.රොක්සාමි, වික්ටර් දළුගම, නවරත්න ගමගේ, පැට්‍රික් දෙනිපිටිය වැනි ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරුන් ගේ ගී තනු නිර්මාණ යටතේ හා, මහාචාර්ය සුනිල් ආරියරත්න , ආචාර්ය තිස්ස අබේසේකර ,ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ , සිරිල් ඒ. සීලවිමල , නිලාර් එන් කාසීම් වැනි ප්‍රතිභාපූර්ණ ප්‍රවීණයන්ගේ පද රචනා යටතේ බව දන්නේ කීයෙන් කී දෙනාද ?.
මේ සටහනින් ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන්නේ , ඔහු ගැයූ චිත්‍රපට පසුබිම් ගීතාවලිය පිළිබඳවයි. ප්‍රථමයෙන් ඔහු පිළිබඳව කෙටි සටහනක් තැබීම සුදුසු යැයි විස්වාස කරමි.
මොරටුවේ වෙළද ව්‍යාපාරිකයෙක් වූ, ජී. ඩී. හෙන්ද්‍රික් මහතාට සහ ඉංග්‍රීසි ගුරුවරියක් වූ , හේමා වීරවර්ධන යුවලට දාව , එම පවුලේ එකම දරුවා ලෙස නිහාල් නෙල්සන් උපත ලබන්නේ, 1946 වර්ෂයේ ජනවාරි 09 වන දිනයි.පාසැල් පෙර අධ්‍යාපණ අවදියට එළැඹීමත් සමගම රාවතාවත්තේ රෝමානු කතෝලික පාසැලට මූලික අධ්‍යාපනය සඳහා පිවිසෙන ඔහු ,පසුව මොරටු විද්‍යාලයට ඇතිලත්ව අධ්‍යාපන කටයුතු වල නිරත වේ.ඉන් අනතුරුව වැල්ලවත්තේ පොලි ටෙක්නික් විද්‍යාලයට පිවිස එහිදී ,පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව හැදෑරීමක නිරතවේ.
පාසැලේ පන්ති කාමරයෙන් සංගීතයේ මුළකුරු පටන් ගන්නා ඔහු , 1962 වර්ෂයේ දී ( 16 වන වියේදී ) තමාම ලියා තනුවක් යොදාගත් ගීතයක් , මොරටුව ලක්ෂපතියේ යුවලකගේ විවාහ මංගල්‍යයේ දෙවන ගමන වෙනුවෙන් පැවති උත්සවයකදී ගායනා කරමින් තම සිහිනයේ ඉදිරි පියවරකට ආරම්භය ලබාගනී. එම උත්සවයේ සංගීතය මෙහෙය වූ, ඒ.ජේ. කරීම් සංගීතවේදියාණන් මේ ගැටවරයාගේ හැකියාව ගැන පැහැදී , ප්‍රවීණ සංගීතවේදි ආර්.ඒ.චන්ද්‍රසේන ශූරින් වෙත ඔහුව යොමු කරයි. ඒ යොමු කිරීමේ ප්‍රතිපලයක් ලෙස , නිහාල් මුලින් ලියූ ගීතය , ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහ යන් ලවා සංස්කරණය කොට , ආර් .ඒ. චන්ද්‍රසේන ශූරින් ගේ සංගීතයෙන් හැඩ ගැන්වී , 1963 වර්ෂයේ පෙබරවාරි මස එක් දිනයකදී කොල්ලුපිටිය සරසවි චිත්‍රාගාරයේදී , මර්වින් රුද්‍රිගු ශබ්දපරිපාලක වරයාගේ අධීක්ෂණය යටතේ පටිගත විය . එම ගීතය ” ලස්සනට පිපුණු වන මල් ” නම් විය . ඒ ඔහු පටිගත කල ප්‍රථම ගීතයයි. ඉන් අනතුරුව ගී ගැයූ ,ගීත තැටි වලට අමතරව , කැසට් පට ප්‍රමාණය 113 ක් පමණ විය .ඒ අනුව ඔහු ගැයූ ගීත දහස් ගණනකි.
පිළියන්දල ,සුවාරපොළ ප්‍රදේශයේ පදිංචි ව සිටි, අලුත්ගේ ශ්‍රියාලතා මාලිනි පෙරේරා සමඟ 1974 මැයි මස 16 වන දින විවාහ දිවියට ඇතුලත් වන , ඔවුනට තරංග නෙල්සන් නමින් එක් පුතණුවකු විය .2020 වසරේ ජූලී 01 වන දින ඉතාමත් අනපේක්ෂිත අයුරින් , නිහාල්ගේ ආදරණීය බිරිඳ දිවියෙන් සමුගැනීම සිදුවිය .එයින් පසුව ඔහුගේ ලෝකය වූයේ, එකම පුතු තරංග සහ පුතුගේ බිරිඳ ගයනිත් , ඔවුනගේ සිඟිති දියණිය කයිලි අමේලියාත් පමණි.
අතීතයේ එක්තරා යුගයකදී ප්‍රබුද්ධ පීචන් සංවාදයක් ඇතිවිය . එච් ආර් ජෝතිපාල , නිහාල් නෙල්සන් වැනි කීප දෙනෙකු පීචං ගොඩට තල්ලු කර තිබිණ. එලෙස තල්ලු කරන ලද නිහාල් නෙල්සන් ගායන ශිල්පියා, ප්‍රතිභාපූර්ණ ගීත රචකයින්ගේ සහ සංගීතවේදීන්ගෙ පද- තනු අනුව ගැයු චිත්‍රපට පසුබිම් ගීතාවලිය පිළිබඳව මෙතැන් සිට විමසා බලමු
ඔහු ගැයූ ගී ඇතුලත් චිත්‍රපට තිරගත වූ පිළිවෙළට අනුව දක්වා ඇත .
“පෙම් කුරුල්ලෝ” අධ්‍යක්ෂණය -ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්.(1975)
“කසිලි බිසිලි නෑ අතේ පච්චා නෑ
බජාර් එකේ හොඳ කකුලකි මං
ඇදිලි පැදිලි නෑ හිතේ බයක් නෑ
ඉදිරියටම යන කොල්ලෙකි මං”
ගායන සහය : බන්දු රණසිංහ
පසුබිම් රංගනය : විජය කුමාරණතුංග / තිස්ස විජේසුරේන්ද්‍ර
(චන්ද්‍රදාස ප්‍රනාන්දු / ටෝනි වීරතුංග )
“දියමන්ති” අධ්‍යක්ෂණය -වසන්ත ඔබේසේකර .(1976)
සමූහ: ඇලඩින්ගේ පුදුම පහණ නොලැබුනොතින් අපට හෙටක් නෑ
සනත්: කිතුල් ගහේ පොතු ගහ රතු මල් එනතුරු
සමූහ: කල දවසක් නෑ
සනත්: මල් පිපෙන්නේ බඹර කැලට රොන් අරගන්නයි
නිහාල්: මී කඩන්නේ අපල කාලේ අත ලෙව කන්නයි
ධර්මසිරි:පැදුරේ ඉන්නේ කවදාවත් බිම නොවැටෙන්නයි
සමූහ: පොල් ගහ යට කොටියා අපට අපි කොටියට
පොල්ගහයට – පොල්ගහයට
කොටියා අපට අපි කොටියට – පොල්ගහයට
සනත්:ඉහට වහල නිල් අහසයි ගේ මහ පොළවයි
නිහාල්: නිවුඩු හාලේ බත් තැටියයි පොල්සම්බෝලෙයි
ධර්මසිරි : ජීවිතේට අද විතරයි පැය විසි හතරයි
සමූහ: පොල්ගහයට කොටියා අපට අපි කොටියට
පොල්ගහයට-පොල්ගහයට
කොටියා අපට අපි කොටියට- පොල්ගහයට
ගායන සහය; ආචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි, කේ.ඒ.ධර්මසිරි පෙරේරා
පසුබිම් රංගනය : විජය කුමාරණතුංග, සෝමසිරි දෙහිපිටිය , විමල් කුමාර් ද කොස්තා
(මහාචාර්ය සුනිල් ආරියරත්න /ඩී.ආර්.පීරිස්)
**මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ කෘතියකට පවා මෙම ගීතය ඇතුලත් නොවු නිසා , ගීතයේ සම්පූර්ණ පද මාලාව දක්වා ඇත.
“ලෝක හොරු” අධ්‍යක්ෂණය – ආචාර්ය තිස්ස අබේසේකර (1976)
“යන්න යන්න දුර ගමනක් පාර ඉවර නෑ
ඈත ඉඳන් ආපු ගමන තාම ඉවර නෑ
හතර වටින් අඳුර එනවා නවාතැනක් නෑ
වැසි වැටුනත් මුවාවෙන්න ගහක් කොළක් නෑ”
පසුබිම් රංගනය;………….
( ආචාර්ය තිස්ස අබේසේකර / පැට්‍රික් දෙනිපිටිය )
“හරි යනකොට ඔහොම තමයි ” අධ්‍යක්ෂණය -ගාමිණි හේවාවිතාරණ(1977)මෙම චිත්‍රපටයට ඔහුගේ ගීත යුගලයක් ඇතුලත් විය .
“නිහාල්: ඉඳා මල්ලී ශත දහයක් බීපන් සෝඩා
ගසාපල්ලා රබාන දැන් නාහෙන් නාඬා
පුන්සිරි: අසව් අසව් කන් නොසලා වටකර මිතුරු
ඔන්න නියම යුද්දේ තමයි ගෝලයයි ගුරු”
ගායන සහය : පුන්සිරි සොයිසා
පසුබිම් රංගනය : විමල් කුමාර් ද කොස්තා/ ඇන්තනි සී. පෙරේරා
අවසේස:විජය කුමාරණතුංග/ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
(ප්‍රේම කීර්ති ද අල්විස්/ වික්ටර් දළුගම )
………………
ප්‍රෙඩී : ඇලඩින්ගේ පුදුම පහණ දැන් තියෙන්නේ මගේ ගාව
එපා නිවන්න මිතුරෝ එපා නිවන්න
නිහාල්: අලි බබාගේ හොරු හතලිහ දැන් ඉන්නේ මගේ ගාව
කතා එපා මිතුරෝ වැඩි කතා එපා මිතුරො
ගායන සහය : ප්‍රෙඩී සිල්වා
පසුබිම් රංගනය : විමල් කුමාර් ද කොස්තා/ප්‍රෙඩී සිල්වා
(ප්‍රේම කීර්ති ද අල්විස් / වික්ටර් දළුගම)
” සඳවට රන්තරු “- අධ්‍යක්ෂණය , ආනන්ද හේවගේ – සිරි කුලරත්න
** ඔහු ගීත යුගලයකට දායකව ඇත.
ජෝතිපාල: බලාපොරොත්තුවේ රුවන් මල්ල පිරීලා
රැල්ල නගා ආදර ගඟුලැල්ල ගලාලා
ඉදිරි ගමනේ ලකුණු සුබයි
අනංග හී සැරය ලබයි
සන්තානේ සන්තෝසේ ඉල්ලම පෑදෙයි
නිහාල්: මගේ පැතුම් විමානයේ දොරටු ඇරීලා
මුලින් ලැබූ ආදරේ අරුත දැනීලා
මල්සර ලඟටම කැන්දා මල් වයසේ රස වින්දා
සන්තානේ සංතෝසේ වැහි බිඳු වෑහෙයි
ගායන සහය : එච්.ආර්. ජෝතිපාල
පසුබිම් රංගනය : විජය කුමාරණතුංග / ජෝ. අබේවික්‍රම
(ජෝර්ජ් ලෙස්ලි රණසිංහ/එම්.කේ.රොක්සාමි)
…………..
නිහාල්: මං සොලමන් මගෙ ෂීබා
මට ආලේ පෙන්වනු
පාළු දූපතේ මාළිගා බඳිමු
රංජනී:මං ජුලියට් මගෙ රොමියො
මට ආලේ පෙන්නනු
පාළු දූපතේ මාළිගා බඳිමු
ගායන සහය : රංජනී පෙරේරා
පසුබිම් රංගනය : ජෝ අබේවික්‍රම/ ශිරෝමාලා
(ප්‍රේමකීර්ති ද අල්විස් / එම්.කේ. රොක්සාමි)
“වාලම්පුරි” අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු (1981)
” වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා වරෙල්ලා
මූදූ තොටේ රජ විමනට වරෙල්ලා
මූද සිනාසේ මනරම්
දේදුණු පාට සොයාලා කිමිදෙම්
පය නැති වරල් සලා සුරල් නගා
සුරතින් රන්දුණු ගෙන සුරංගනා
සුරංගනා ලෝකෙට යන්නෙම්”
ගායන සහය ;එච්. ආර්. ජෝතිපාල /අබේවර්ධන බාලසූරිය/ලක්ෂ්මන් විජේසේකර /ග්‍රේෂන් ආනන්ද
පසුබිම් රංගනය: විජය කුමාරණතුංග/වින්සන්ට් වාස්/සෝමසිරි දෙහිපිටිය ඇතුළු පිරිස
(ධර්මසිරි ගමගේ/ආචාර්ය පන්ඩිත් ඩබ්ලිව් .ඩී.අමරදේව)
” සක්විති සුවය ” අධ්‍යක්ෂණය – ගාමිණි ෆොන්සේකා (1982)
ජෝති: ඉහලින් යන්නෝ අහසේ වඩින්නෝ
පොළොවේ පය නොගසා උඩ ඇවිදින්නෝ
එම්.එස්.: ඉස්පිරිතාලෙට මදන වාට්ටුවට මංගල ගමනට
මීනී කනත්තට
නිහාල්: උපන් දා පටන් මරණය දක්වා ජීවිත ගමනේ
යන හැම ගමනට
නැතිවම බැරි ටැක්සි මල්ලී නැතිවම බැරි ටැක්සි
ගායන සහය : එච්. ආර් ජෝතිපාල / එම්.එස්.ප්‍රනාන්දු
පසුබිම් රංගනය :අමරසිරි කලංසූරිය /විමල් කුමාර් ද කොස්තා/ සේනක පෙරේරා/ සොමී රත්නායක ඇතුළු පිරිස
(ජිනදාස පෙරේරා/ සරත් දසනායක )
” රතු මකරා ” අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල (1983)
නිහාල්; හොඳ දවසක් මල්ලී අද හොඳ දවසක්
ලොකු සතුටක් දැනෙනවා අද හොඳ දවසක්
පෝල්: කරට කරේ එකට වැටිලා දාමුද සොමියක්
පොරට පොරේ බයිලා කියමු මම රජ කකුලක්
ගායන සහය : පෝල් ප්‍රනාන්දු
පසුබිම් රංගනය : බී.ඇස්.පෙරේරා/ දොන් සිරිසේන
අවශේෂ: ජීවන් කුමාරතුංග/සොමී රත්නායක/ ක්ලීටස් මෙන්ඩිස්
( හේමසිරි හල්පිට/ විශාරද ගුණදාස කපුගෙ)
“බෝනික්කා” අධ්‍යක්ෂණය – ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්(1983)
” සඳෙන් ගෙනා බෝනික්කා ඉරෙන් ගෙනා බෝනික්කා
පිනට ලැබුණු බෝනික්කා දෙයියෝ දුන්න බෝනික්කා “
ගායන සහය : සිසිල් රුද්‍රිගු
පසුබිම් රංගනය : තිස්ස විජේසුරේන්ද්‍ර/උදේනි චන්ද්‍රසිරි/ ජෙනී කුක්
( සරත් මුණසිංහ/ ටෝනි වීරතුංග )
“ශිරාණි ” අධ්‍යක්ෂණය – එම් ඒ. ගපූර්(1984)
“පෙරකදෝරුකම ලැබිලා ඇවිල්ලා “
පසුබිම් රංගනය : විමල් කුමාර් ද කොස්තා
(හේමසිරි හල්පිට – ප්‍රථම චිත්‍රපට ගීතය/ ශාන් ෂන්මුගම්)
“පුතුණි මට සමාවෙන්න ” අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල (1985)
” සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ”
***කැසට් පටයකට ගැයු මුල් ගීතය මෙම චිත්‍රපටයට යොදාගෙන ඇත
පසුබිම් රංගනය: නිහාල් නෙල්සන්/ශ්‍රී නාත් බස්නායක /සෙනරත් මාපිටිගම/ මහේෂ් ජයසිංහ
(හේමසිරි හල්පිට -ඔහු ලියු ප්‍රථම ගීතය / තනුව නිහාල් නෙල්සන් )
“මල්වරුෂා” අධ්‍යක්ෂණය – කේ.ඩී.දයානන්ද(1986)
නිහාල්: ජැක් ඇන්ඩ් ජිල් ඇන්ඩ් වින් මස්සිනේ
ජැක්ලයි ජිල්ලයි මස්සිනේ
ප්‍රෙඩී: අපි මස්සිනාලා වාගේ
ගායන සහය ; ප්‍රෙඩී සිල්වා
පසුබිම් රංගනය : බී.ඇස්.පෙරේරා/ ප්‍රෙඩී සිල්වා /රොබින් ප්‍රනාන්දු / අමරසිරි කලංසූරිය
(සිරිල් ඒ . සීලවිමල / වික්ටර් දළුගම)
“රෝදය” අධ්‍යක්ෂණය – බන්දු සමරසිංහ(1995)
මිල්ටන්: නව හිරු සඳු පායාලා දුක් ලතැවුල් පාවීලා
නිහාල්: ආලෝක වෙන්නයි මේ ලෝකේ
රන් වන් රන් ආලෝකේ
සමූහ: නෑ තව නෑ දැකලා
ගායන සහය : මිල්ටන් මල්ලවාආරච්චි/ බන්දු සමරසිංහ
පසුබිම් රංගනය : ටෙනිසන් කුරේ/ විමල් කුමාර් ද කොස්තා / බන්දු සමරසිංහ /නදීකා ගුණසේකර/ සුසිලා කෝට්ටගේ
(හේමසිරි හල්පිට / සරත් දසනායක )
” සිකුරු යෝගය ” අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු (2019)
“රාජ ඉසුරු සැප ලබන්න
රාහු අපල කල ගෙවෙන්න
ආපු නපුරු දුක නිවෙන්න
කල ඇවිදින්
ඕං මිතුරු සිකුරු හත ලබන්න
ගායන සහය : හේනි හසන්/හේමන්ති රණසිංහ /ගයනි පෙරේරා/සඳුණි ස්වර්ණමාලි
** මෙය චිත්‍රපටයේ තේමා ගීතයයි
( නිලාර් එන්. කාසිම්/ නවරත්න ගමගේ)
නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ගැයූ චිත්‍රපට ගීත අතුරින් මා හට සොයා ගැනීමට හැකිවූයේ මෙපමණකි. මෙයින් බොහෝ ගීත ඔහුට ආවේනික රිද්මයට ගායනා වී ඇතත් , මෙහි ඇති විශේෂත්වය වන්නේ , ආචාර්ය ,මහාචාර්ය ,විශාරද පදවි ලද ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා නිහාල් නෙල්සන් ගායන ශිල්පියාව සම්බන්ධ කර ගැනීමයි .මේ අනුව ඔහු , “ප්‍රබුද්ධ ” ද “පීචන්” ද “සුප්‍රබුද්ධ ” ද යනු තීරණය කිරීම රසික ඔබට බාර කරමි.එකල එච් ආර්. ජෝතිපාලයන් හටද ” පීචන්” ලේබලය අලවා තිබිණ .ඒ ඔහු ජීවත් ව සිටියදීය. එනමුත් ඔහු මිය ගියාට පසුව, බොහෝ ප්‍රබුද්ධ යැයි කියා ගන්නා අයවළුන් ඔහුව හැඳින්වූයේ සංස්කෘතික බල කනුවක් ලෙසටයි .ජීවත්ව සිටි ජෝතිපාලයන්ට වඩා මිය ගිය ජෝතිපාලයන් අදට ද අමරණීයව ඇත්තේ ඒ නිසාය . බොහෝ ගුණ ගී වරුෂා වහින්නේ කලා කරුවන් අප අතරින් වියෝවු පසුවයි. ඒ අපේ කලා ලෝකයේ ස්වභාවයයි.
කැසට් පට , සංගත තැටි පෙරමෙන් නිෂ්පාදනය නොවූවත්, චිත්‍රපට කර්මාන්තය අඩපණ වූවත් , නිහාල් නෙල්සන් නොනැවතී ගී ගයනු ඇත. ඔහුගේ හැකියාවට ලද රැකියාව ගායනයයි. ගැයූ සෑම ගීතයකින්ම වස නොවු රස මැව්ව, වසර පනස් අටක් පුරා ගී කෙත අටු කොටු පිරෙව්ව , වසර හැත්තෑ පහේ ජනතාවාදි ගායකයාණෙනි දිවිතුරාම ඔබ ගයන්න .
ඔබට නිදුක් නීරෝගිමත් දීර්ඝායුස ප්‍රාර්ථනා කරමි.
- සටහන: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු (ලකී ලියනගේ මිතුරාට විශේෂ ස්තුතිය .)