අරගලය සහ ගෝඨාගෝ ගම ෆැන්ටසිය…!!
මගේ ජීවිතයේ අවුරුදු හතරක් නොයෙක් අරගල වලට මැදිව ගෙවුනා ගලහ හංදියේ ඉඳල ලිප්ටන් වටරවුම දක්වා.. ඒවා සහ මේ ගෝල්ෆේස් අරගලය සසඳන්න යන්නෑ මං. පවතින රජයකට විරෝධතාව දක්වන්න විවිධ කණ්ඩායම් විවිධ සටන් පාඨ සමග විවිධ ක්රමෝපායයන් ක්‍රියාත්මක කරනවා. ඒවා සංඛේත වැඩ වර්ජන වලින් පටන්ගෙන සාමකාමී උද්ඝෝෂණයන් මෙන්ම වීදි අරගලයන් දක්වා නොයෙක් පරාසයන්ට දිගු වෙනවා. සාධාරණ ඉල්ලීම් දිනාගන්න නම් ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදියට අපිත් හැඩගැහෙන්න ඕන. අද වනවිට ප්‍රචන්ඩකාරී උද්ඝෝෂණ වලට වඩා තාක්ෂණික මෙවලම් හරහා ලෝකයේ සෑම අහුමුල්ලකටම සැනෙකින් තම මතය වපුරන්න පුළුවන් පහසුකම එක්ක තරුණ පරම්පරාව නවීන අරගලයකට බද්ධ වීම එක අතකින් සාර්ථකයි. මොකද මෙයින් ලෝකයේ බොහෝ මාධ්‍ය කැමරා ආම්පන්න ලංකාව වෙතට යොමු කරවන්න ඔවුන් සමත් වෙලා..
මම දැක්කා කලක් වියත් මගේ සම්පත් දායකයෙක් වුන වත්මනෙහි ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයෙක්යැයි සමහරෙක් හඳුන්වන එරන්ද ගිනිගේ ගෙ එක් ලිපියක සඳහන් කරල තියෙනව #GoHomeGota2022 ස්ලෝගන් එක මහපොළොවෙ පැළ නොවන වර්ගයේ අසාර්ථක එකක්ය එය ලාංකේය සමාජයට බද්ධ නොවෙන එකක්ය කියල. ඒ තමයි ඔවුන් නොදන්න ඔවුන්ට ස්පර්ශ නොවන මහපොළොවේ දේශපාලනය. ඔවුන් සිතනවා තවමත් චරිත වන්දනාවෙ යෙදෙන පපුවට ගහගෙන කෑගැහුවම ඒව දේව වාක්‍ය ලෙස පිළිගන්න ජන පරම්පරාවය ලංකාවෙ ජීවත් වෙන්නෙ කියල. නෑ, දැන් ඈත බිංතැන්නේ වැදි ජනතාවත් ස්මාර්ට් ජංගමයෙන් ලෝකය දකින බව ඔවුන් පිලිගන්න කැමති නෑ. ජාතිවාදී ආගම් වාදී ලෙස බෙදල අසමගිය වෛරය උරුම වුනු ජනතාවක් අන්ඳන්න පහසු විදියට හදාගෙන ඒ මගින් තම බලය පවත්වාගන්න තවමත් කැස කවන ඊනියා ජනමූල නායකයන් සමාජයෙන් අතුගෑවෙමින් යන එක ගැනවත් සවිඤ්ඤාණක බවක් නැති මේ පිරිසට රටක් ඉදිරියට ගෙනයන්න දැක්මක් තියෙයි කියල කොහොමද අපි විශ්වාස කරන්නේ.
ඔවුන් දන්න ඔවුන් අත්විඳි සහ ඔවුන් මර්ධනය කල අරගල වලට වඩා හාත්පසින්ම වෙනස් අරගලයක් වෙත අද නූතර පරම්පරාව පරිවර්තනය වීම ඔවුන්ට හිතාගන්නවත් බැරුව වික්ෂිප්තවයි මේ ඉන්නෙ. මේ දියුණු රටවල දියුණු සංස්කෘතික ලක්ෂණ හා සමගාමීව කෙරෙන තාක්ෂණික සහ මානුෂවාදී අරගලය මැඩපවත්වන ක්‍රමයවත් ඔවුන්ගේ පුංචි මොළ වලට නොවැටහෙනවා ඇති. ඔවුන් ඒ සඳහා ක්‍රම හොයමින් සිටිනවා ඇති. ඔවුන් දන්නා ගතානුගතික මර්ධනකාරී පිලිවෙත මේ අවස්ථාවට යොදන්න ඔවුන් බිය වී ඇති. මොකද අද ගෝල්ෆේස් පිට්ටනිය දෙසට ලෝකයේ ප්‍රධාන නාලිකා සියල්ලගෙම කැමරා එල්ල වී ඇති බව දන්නා නිසා. තව දුරටත් මේ නවීන පරම්පරාව සමග ගැටුමකට යාමේ අවධානම පාලක පක්ෂය ගන්න සූදානම් නොවන බවයි මට දැනෙන්නෙ. නමුත් ලෝකයේ නිර්ලජ්ජිතම සහ ලෝකයේ කෛරාටිකම පාලකයින් වන ඔවුන් මෙය කඩාකප්පල් කිරීමට යටි උගුල් නොහනවායැයි සිතන්න තරම් අප මෝඩද නොවිය යුතුයි.
තැනෙක සටන් පාඨ කියන පිරිසකි, තැනෙක වෛද්‍ය කඳවුරුය, තැනෙක පුස්තකාලයකි ඒ වගේම ප්ලාස්ටික් සහ නොදිරන ද්‍රව්‍ය එකතු කරන තැනක් සහ ස්වේච්ඡා නීති ආධාර කඳවුරකි.. විවිධ වෘත්තිකයන් විවිධ දැනුවත් කිරීම්ය. ලංකාවේ බොබ් මාර්ලේලා වික්ටර් හාරාලා ඇල්ෆා බ්ලොන්ඩේලා සංගීතයෙන් අරගලයට ජීවය දෙති. ලංකාවේ සියළු ජාතීන් සියළු ආගමිකයින් එකම අරමුණක් වෙනුවෙන් එකම බැඳීමකින් වෙලී සිටින ආදර්ශ ගම්මානයක්. එය ලංකාවේ අනාගතය පිළිඹිබු කරන සාම්පල් එකක්.ඇසට කඳුලක් එක් කරන සතුටුදායි හැඟීමක්.
නමුත්, අපිට හිතන්න තව බොහෝ දේ ඉතිරියි. මේ නොනවතින අරගලයට අදට සතියක්. මේ වෙද්දි මුදල් අමාත්‍ය බැසිල් ඉවත් කරලා. කැබිනට් එක ඉල්ලා අස්වෙලා. සර්වපාක්ෂික කැබිනට් එකක් සඳහා ජනාධිපති ආරාධනා කරලා. මේවා ජනතා නැගිටීමේ සැනසිලි තෑගි.. මොනවත්ම නැති කමට මේත් මදැයි කියල සැනසෙන්න බෑ. අපේ ප්‍රධාන සටන් පාඨය ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතා ඕලාරිකයි.ඒ ඇයි. මේ ගෝල්ෆේස් අරගලය ලෝකයේ අවධානය දිනාගත්තාට එතනින් එහාට ඔවුන්ට දැනෙන බලපෑමක් එල්ල කිරීමට සමත් වෙලාද එසේ නැද්ද කියල අපිට නැවත හිතන්න වෙනව නේද. සමහරුන්ට මළපැන්නත් මම කියනවා ගෝල්ෆේස් අරගලය ප්‍රධාන අරමුණෙන් බැහැරව යමින් පවතින බව.. එතන පවු සමාකරන දේවස්ථානයක් වෙලා. පාපොච්චාරණය කරන විත්ති කූඩුවක් වෙලා. රැල්ලට ගිහින් සෙල්ෆි ගහල පොඩි ආතල් එකක් ගන්න තැනක් වෙලා.කොටින්ම කිව්වොත් සමහරුන්ට සෙට් වෙලා නයිටක් ගහන තැනක් වෙලා. ෆේස් බුක් එකේ යූ ටියුබ් එකේ මොනවා හෝ කරගෙන සිටි ඇඩ්මින් වරු කීපදෙනෙක් රටම දන්න චරිත වෙලා. කොල්ලන්ගෙ වැඩේට පොඩි සපෝට් එකක් දෙන්න ආව කියාගෙන ආපු සමහරු අදවෙනකොට දබරැඟිල්ල උලුක් කරගෙන දේශපාලකයො ආවොත් බලාගෙනයි කියල තර්ජනය කරන තැනට අරගලයේ උරුමක්කාරයො වෙලා. හැබැයි වෙන්න ඕන දේ වෙලා නෑ. ගෝඨා තවම ලංකාවේ ජනාධිපති. තව සති ගානක් දේශීය විදේශීය අපේ මිනිස්සු කරන ආධාර වලින් කකා බිබී කෑ ගගහ හිටියත් එච්චරම තමයි. මොකද රට පුරා වීදි සටන් අන්තිමට ගෝල්ෆේස් එකට ලඝුවුනා. ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයො හිනා වෙවී කතා කරකර දෙපැත්තට වෙලා ඉන්නවා පමණයි. තැන් තැන් වල සටනට අදාලම නොවන සටන්පාඨත් ඇහෙනවා. මේ තමයි අසංවිධානාත්මක අරගලයක ලක්ෂණ.අද වෙද්දි ගෝටාගෝගම ෆැන්ටසිකරණයට ලක්වෙලා. සටන් කරුවන් මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැර වෙද්දී නැවත හරි මගට මෙහෙයවන පළපුරුදු ඉදිරිපෙළ සටන් කරුවන් අවශ්‍යයි සටනක් දිනන්න. ගෝඨා ගෝ ගමට හුදකලා සටනකින් ජය ගන්න පුළුවන්ද. සියළු පක්ෂ වල ඒකරාශී වීමක් නෙවෙයිද අවශ්‍ය. එක අරමුණක් වෙනුවෙන් එක්වෙන විවිධ පාර්ශ්වයන් එක පෙරමුණකට නාවොත් මේ අවස්ථාව අපතේ යෑමක් වෙනවාමයි. ජවිපෙ සහ පෙරටුගාමීන්, ඒ වගෙම සමාජවාදී අක්මුල් තියෙන තවත් බොහෝ පිරිස් මේකට මෙහෙයවන්නන් මග පෙන්වන්නන් විදියට එන්න ඕන. කාටවත් පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතැබිය යුතුයි. හැමෝගෙම හැසිරීම ගැන හැමෝම අවධානයෙන් ඉන්න ඕන. ඒ මන්ද සටනේ ස්වරූපය වෙනස් වෙද්දි ඔවුන්ගේ යුධ උපක්‍රමද වෙනස් කරගන්නා බැවිනි. අරගලයට ජය….
හේරත් වන්නියාගේ මුහුණු පොතෙන් …