අපිට පුළුවන් අපේ රටත් ලස්සන කර ගන්න!!!
මිනිස්සු දියුණු වෙනකොට තමන්ගේ ජනාවාස බොහෝම හොඳින් සැළසුම් කර ගත්තා. Town planning, Country planning, skyline planning, landscape planning මෙන්ම blueprint සංකල්ප දියුණු ජනපද වල ලක්ෂණයක්.
වේයෝ, කූඹියෝ , වඩු කුරුල්ලෝ විතරක් නෙවෙයි තමන්ගේ ජනාවාස ලස්සනට සැළසුම් කර ගන්න එක ඇතැම් සතුන් අතරේත් අපි හොඳින් දැකලා තියෙනවා. ලෝකයේ ජීවත් වෙන්න හොඳම නගර ඔක්කොම වගේ බොහෝම ලස්සනට සැළසුම් කරපුවා. ඇතැම් නගර ඉතිහාසයේ පටන්ම අලංකාර ලෙස සැළසුම් කරලා තිබෙනවා.
ලංකාවේ උනත් අනුරාධපුරයේ , පොළොන්නරුවේ , සීගිරියේ මේ නගර සැළසුම් දකින්න පුළුවන් වෙලා තියෙන්න ඇති. කොහොම නමුත් අවුරුදු 443ක් අපි යටත් විජිත බවට පත් වෙලා තියෙන කොට අපේම විඥානයෙන් අපිව ඈත් වෙලා යන්න ඇති. නිදහසෙන් පස්සේ අපේ රටේ එහෙම සැළසුම් සහගත බවක් දක්නට ලැබුනේ නෑ.
කොහොම උනත් අපේ රටේ නගර හා ජනාවාස දැන් වන විට ඉතාමත්ම අපිළිවෙලට තියෙන්නේ. කිසිඳු සැළසුමක් ඒවායේ දක්නට ලැබෙන්නේ නෑ. මිනිසුන් පුළු පුළුවන් විදියට මොනවා හරි හදා ගෙන ජීවත් වෙනවා. මන්දිරයේ සිට පැල්කොටේ දක්වා එහෙමයි. ඒක අපිවගේම දුප්පත් රටවල, අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක් තියෙන රටවල දකින්න පුළුවන් ලක්ෂණයක්.
මම ජීවත් වූ සිංගප්පූරුව මේ නගර සැළසුම පිළිබඳව ඉතාමත්ම ප්‍රමුඛව සළකන රටක්. වර්ග කිලෝමීටර් 725 ක් කියන්නේ ඉතා කුඩා භූමියක්. ඒක ඔවුන්ගේ සීමාකාරීම සාධකය. එහි ඔවුන් මුළු රටම උයනක් බවට පත් කොට තිබෙනවා. City in a garden සංකල්පය අනුව යමින් එය දැන් අනාගත ලෝකයට සූදානම් වෙනවා. සිංගප්පූරුව බිහි වුන ගමන් එහි අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා තමන්ගේ අගමැති කාර්‍යාලයට අනුබද්ධ කර ගත්තේ මේ ඉඩම් සැළසුම් අංශය. එයට එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගෙන් උපදෙස් පවා ලැබුනා. ඔවුන් ඒ අනුව යමින් මුළු සිංගප්පූරුවටම ගැලපෙන Blueprint එකක් හැදුවා. ඒකේ තිබුනා නගර කොහෙද, ජනාවාස කොහෙද , කර්මාන්ත ශාලා කොහෙද කෘෂි කර්මාන්තය කරනවාද් නැතිද ආදී ලෙස ජාතික සැළසුමක්. ඒවගේම අවුරුදු 5න් පහට ඒක යාවත් කාලීන කරන්නත්, අවුරුදු 10න් දහය ඒක වෙනස් කරන්නත් පාර්ලිමේන්තුව හරහා අවසර ලැබුනා. අද අපි දකින්නේ ලෝකේ දියුණුම රටක් විදියට එහෙම සැළසුම් කරපු සිංගප්පූරුව.
මේ නගර සැළසුම් ක්‍රම එංගලන්තයේත් හොඳින් දකින්න පුළුවන්. පැරැණිම නගර වලත් ඒ වගේම අලුතින් හැදෙන ඈත ගම් වලත්. ජනාවාසයක් හැදෙන්නේ මූලික අවශ්‍යතා ගමෙන්ම සපිරෙන අයුරින්. හැමෝටම හොඳ ගෙයක් තියෙන හැමෝටම වාහනයක් තියෙන, ජලය, විදුලිය, ගෑස් එන, පාසලක්, බඩු ගන්න කඩ, කන්න බොන්න පබ් එකක්, තැපැල් කන්තෝරුවක් මේ ඔක්කොම පුංචි ගම් වලත් තියෙනවා. දරුවන්ට පයින් යන දුරින් පාසලක් අනිවාර්යයෙන් තියෙනවා.
මේ දේවල් දකින්න ඉගෙන ගන්න අත්දැකීම ලබා ගන්න එක ඉතාම වැදගත් අපිත් අපේ රට හදා ගන්න කලින්. පොත පතේ විතරක් කියවලා හරි යන්නේ නෑ. ලෝකයේ තව බලන්න දේවල් ගොඩක් තියේවි. නමුත් උපරිමයෙන් ඒ අත්දැකීම විඳින එක අපේ රටත් හදා ගන්න ලොකු අත්වැලක්.
රටක් හදන්න දේශපාලන බලය ලබා ගත්ත පමණින් බෑ. ඒ වෙනුවෙන් අපි අපිව සූදානම් කර ගන්න ඕනේ. අධ්‍යනය වගේම අත්දැකීමත් එක වගේම වැදගත්.
අපිට තියෙන්නෙත් වර්ග කිලෝමීටර් 65610 යි. ජන ඝනත්වය අනුව ඉහළ රටක්. ඒ නිසා අපිටත් භූමිය කියන්නේ ඉතාම සීමිත සම්පතක්. අපේ රටෙත් ඉතා ප්‍රමුඛව කරන්න ඕන දෙයක් තමයි මේ භූමිය සැලසුම් කරලා blueprint එකක් අඳින එක. එසේ සැලසුම් සහගත නොවී රට හදන්න බෑ. අපි පටන් ගන්න තැන එතන.
ඡායාරූප : එංගලන්තයේ ගමක්. ලන්ඩන් වලට කිලෝමීටර් 160ක් ඈතින්.
- පැතුම් කර්නර්