ටැංකි සුද්දා

0
dc-Cover-fkr66j9tokkbu5gfc4s54u9584-20160321064212.Medi

ටැංකි සුද්දව නොදන්න කෙනෙක් නෑනේ. දන්නෑ? ක්ලීනර්ව දන්නවනේ එහෙනං. ඕන කෙනෙක් මාළු ටැංකියක් ගද්දි බොහෝ දුරට කරන වැඩක් තමයි ටැංකියේ බැදෙන පාසි කන්න කියල ටැංකි සුද්දෙක්ව අරං යන එක. ඇත්තටම ක්ලීනර් හෝ ටැංකි සුද්දා කිව්වට අපි මේ මාළුවගේ හරි නම දන්නවද? නෑ නේ. එහෙනං බලමු ටිකක් මේ සුද්දංගේ වග විස්තර කොහොමද කියල.

මේ පෝස්ට් එක ලියන්න විස්තර හොයනකොට මං ටිකක් අමාරුවේ වැටුනා කියන එක නොකියම බෑ. මුලිංම බලමු අපි මේ හාදයගේ ඉංග්‍රීසි නම මොකද්ද කියල. මේ හාදයට ඉංග්‍රීසි නම් දෙකක් තියෙනවා. එකක් Pleco (ප්ලෙකෝ) අනික suckermouth catfish. මේ නම් දෙකම පොදු නම්. නම් දැක්කම ටිකක් කොම්පියුයස් උනා නේද? හිමීට ඒක ලිහාගමු. අපි දැනට වැඩිපුරම ලංකාවෙදි හදන්නේ වර්ණ ආකාර දෙකක ප්ලෙකෝලා. කළු සහ සුදු. දැං මං කිව්වනේ මේ හාදයංගේ නම් පොදු නම් කියල. ඇයිද කියල දැං කියන්නං. මේ හාදයෝ අයිති වෙන්නේ armored catfish (Loricariidae) පවුලට. මේවගේ සිංහල නම් , විශේෂයෙං විද්‍යාත්මක නමේ සිංහල නමනං අහන්නම එපා. සුද්ද සිංහල කියෝනවා කියල හිතයි මං. ඒක පැත්තකිං තියමුකෝ. දැං අපි සෑහෙන හිතන දෙයක් තමයි කැට්ෆිශ් කෙනෙක් ටැංකියට දාගන්න ඕන කියන එක. එහෙනං ඔන්න ඒ වැඩෙත් හරි. මෙච්චර කාලයක් අපි දන්නෙ නැතුව ටැංකි සුද්දා කියල දාං ඉදල තියෙන්නෙත් කැට්ෆිශ් ජාතියක්ම තමා. එකම දේ මේ පූස් මාළුවා අපි සාමාන්යෙං හදන පූස් මාළු වගේ ක්‍රියාශීලී නැති එක.

හරි , ලංකාවේ අපි දැකල තියෙන්නේ , ගන්න ඉන්නේ වර්ණ ආකාර දෙකක ප්ලෙකෝ ජාති උනාට ඔයා නෙට් එකේ හොයලා බැලුවොත් පෙනෙයි අපි කිසිම ලකයක් නෑ කියල හිතෙන මේ මාළුංගේ මාර ලස්සන වර්ණ රටාවන් තියෙන මාළු ඉන්නවා. ආ තව දෙයක්. මෙයාලව දෙකේ කොලේට විකුණුනාට මෙයාලගේ පවුලේ සමහර අය සෑහෙන මිළ අධිකයි. ලෝච් කියන අය එහෙම ටිකක් ගනං. වෙළද වටිනාකම පැත්තකිං තියල අපි මාළුවා ගැන බලමු. අපි දන්න ප්ලෙකෝලගේ (මං හරියටම විශේෂය කියන්නෑ. හේතු පසුවට) පිට පැත්ත සෑහෙන ගනකමකින් යුක්ත තද මතුපිටක්. මෙයාලව අතගාලා තියෙන අය ඒක දන්නවා ඇති. කටු කටු වගේ තියෙන්නේ. ඒ වගේම වරල් වල අස්ථිමය ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි උදරීය පෘෂ්ඨය සෑහෙන සිනිඳුයි. පිහිනීම කියන දේ කරන්නෑ වගේම තමයි. එතකොට අහුවෙන ඕන දෙයක් කනවා. මන්නං තාම දැකල නෑ හැබැයි මාළුංව උනත් අහු උනොත් කන බව කීප දෙනෙක්ගෙං අහල තියෙනවා. හොදට ඉඩ තියෙන තැනකනං මේ හාදයෝ අඩියක් විතර විසාලෙට හැදෙනවා. ඉස්සර අපේ නෑදෑ ගෙදරක හිටියා ඒ සයිස් ජෝඩුවක්. හැබැයි ඉන් පස්සෙනං කිසිම තැනක එච්චර විසාල ප්ලෙකෝ ලව මං දැකල නෑ. ආ තව එකක්. මේ හාදයන්ට වතුර නැතුව උනත් යම් කාලයක් පණ ගැට ගහං හිටිය හැකි.

මං උඩිං කිවුවනේ අපි දන්න ප්ලෙකෝ කියල වචනයක්.ඇයි එහෙම කිවුවේ? විස්තර හොයන්න විකිය පීරද්දි මගෙත් ඔළුව විකාර වෙච්ච වැඩක් උනා. ප්ලෙකෝ විශේෂ කීපයක්ම ඉන්නවා පෙනුමට එක වගේ. විකියෙම මේ වගේ විශේෂ තුනක් පෙන්නනවා එක ළග. ඒ Common Pleco , Amazone Sailfin Catfish , Orinoko Sailfin Catfish කියන සෙට් එක. නම් වලින්ම පේනවනේ මේ හාදයොත් දකුණු ඇමරිකා සෙට් එකක්. මේ විශේෂ තුනම මින්මැදුරු වලට හඳුන්වාදුන් අය. විකියේ හැටියට නං අපිට ඇවිත් ඉන්නේ ඔරිනෝකෝ සෙට් එක. හැබැයි මෙයාලගේ සුදු පාට අය ඉන්නවා කියල තිබ්බේ ඇමසන් සෙට් එකේ. මගේ සරල නිගමනේ තමයි අපේ රටේ මේ වර්ග තුනම ඉන්නවා කියන එක.

හරි. දැං මෙච්චර වැල් වටාරං තොගයක් ගැහුවේ මොකටද? සරලම කාරණේ තමා මේ ප්ලෙකෝලා ගිය ගිය තැන වනසන සෙට් එකක් වීම. මෙයාලා ස්වභාවික පරිසරයේ හම්බෙන මාළු ජාතියක් වග හැබෑව. හැබැයි ලෝකේ හැම තැනම ඇල දොළවල මේ හාදයෝ ස්වභාවිකව නෑ. මෙයාලගේ ගෙදරිං පිට ඕනෑම තැනකදී මේ හාදයෝ අතිශය භයානක සෙට් එකක්. හොයල බැලුවොත් තේරෙයි මෙයාලව හඳුන්වා දුන් කලාප සෑහෙන ප්‍රමාණයක ස්වභාවික ජල මූලාශ්‍ර වලට මෙයාල ආක්‍රමණිකයෙක් විදියට පැතිරිලා ගිහිං ඉන්න විත්තිය. දැං මෙයාලා භයානක ඇයි? පළවෙනි කාරණේ මෙයාලගේ ව්‍යුහය. නමේ විදියටම මෙයාලාගේ පිට පැත්ත ගනකම ආවරණයකිං වැහිලා තියෙන්නේ. මේ හාදයන්ගේ ගෙවල් වලදි කෙසේ වෙතත් මේ පලිහ නිසා පිට වතුර වල ඉන්න මාංශ භක්ෂකයන්ට නං මෙයාලට පහර දෙන එක මේ නිසාම ලේසි නෑ. අනික මේ හාදයා සුපර් ග්ලූ ගාලා වගේ තමං ඉන්න පෘෂ්ඨයට ඇලෙන නිසා ගලවගන්න එකත් ලේසි පාසු නෑ. ඉතිං පිට තැං වල ඉන්න චණ්ඩි මාළුන්ට මේ හාදයාව මරං කනවට වඩා ලේසියි ඔය දණ්ඩියෙක් පෙතියෙක් අල්ලං කාලා ඉන්න එක. ඔන්න පළවෙනි ටෙස්ට් එක පාස්. ස්වභාවික විලෝපිකයේ අවම හෝ නැති වීම.

දෙවනි එක තමා මෙයාලා ඕන මළ ජරාවක් කන එක. තමං ඉන්න පරිසරයේ කන්න අහුවෙන ඕන එකක් මුං කාලා දානවා. ඒ ශාකමය කොටස්ද , මාළු බිත්තරද වෙන මොනාහරිද මුංට අදාළම නෑ. මජර පාටට හිටියට උඩිං කිව්ව වගේ අහු උනොත් මරං කන්නත් ආයි මේ හාදයෝ කල්පනා කර කර ඉන්නෑ. එතකොට මේ හාදයෝ පොඩියට හිටියට හරි ඉක්මන්ට ලොකුත් වෙන නිසා ස්වභාවික ජල මූලාශ්‍රයකදී මේ හාදයෝ සරලවම ඒ ස්වභාවික ජල මූලාශ්‍ර වලට ආපු රාස්සයෙකුට වැඩි වෙනසක් නෑ. ආයි ඉතිං බෝ වෙන්නත් ගත්තොත් ඒ ජල මූලාශ්‍රෙට අබ සරණයි. කෙලිංම මුලු ජල මූලාශ්‍රෙම ජෛව විවිධත්වය උඩු යටිකුරු කරලා යකා නටන්න මේ හාදයාට වැඩි කාලයක් යන්නෑ. එහෙනං දෙවනි වැඩෙත් හරි.

පැවැත්ම වෙනුවෙං ප්ලෙකෝලට තියෙන ප්‍රධානම ගැටළු දෙක ඔන්න විසඳිලා තියෙනවා.
අමතර කරුණු බලමු. ප්‍රධානම දෙයක් තමයි මේ හාදයෝ වතුරේ වෙනස තඹේකට මායිං කරන්නෑ. මාළු හදන අය දන්නවනේ සමහර මාළුන්ට නං ඕන එකක් ප්‍රීති වෙසක්. සමහරු එහෙම නෑ. වතුරේ ph එක රස්නේ එහෙම ගානට තියෙන්න ඕන. එතකොට ප්ලෙකෝත් ඕන එකක් කාණ්ඩේ. නිල් කැටේ වගේ වතුරත් එකයි හත් අවුරුද්දක් නොහෝදා තියෙන ටැංකියත් එකයි. (ඒ කියල හත් අවුරුද්දක් ටැංකි නොහෝදා ඉන්න එපා.ප්ලෙකෝ කෙසේ වෙතත් ඔයාට පලාතේ ඉන්න බැරිවෙයි.) ඔක්සිජන් දුන්නත් එකයි. නැතත් එකයි. අනික මේ හාදයට වායුගෝලීය ඔක්සිජනුත් යම් පාමාණයක් පාවිච්චි කරගන්න පුළුවං නිසා ටික වෙලාවක් ගොඩ හිටියත් මැරෙන්නෙ නෑ. ඔන්න අමතර කාරණා. බලංගියාම ප්ලෙකෝ කියන්නේ නොනැසී පැවැත්ම කියන කාරණාවෙදි SF කොල්ලෙක් වගේ හාදයෙක්. මක් කරලවත් මරන්න බෑ.

ඉතිං ඔය කියපු මක් කරලවත් මරන්න බැරි ගතිය නිසාම ප්ලෙකෝ යන යන තැන වනසන්න පටං අරං මේ වෙද්දි. තාම ලංකාවෙදී ගලා යන ජල පහරවල ප්ලෙකෝ වාර්තා වෙලා නැතුවට මිරිදිය මත්ස්‍ය කර්මාන්තේ කරන වැව් වල නං ලංකාවෙදිත් වාර්තා වෙන බව මං කීප තැනකම දැක්කා. උඩම කිවුවනේ ප්ලෙකෝ බහින ඕන තැනක ඉන්න අනිත් මාළුන්ට අබ සරණ තමා. ඒ නිසාම අපේ වැව් වල ඉන්න මාළුන්ටත් යනඑන මං නැති තත්වයක් අද වෙද්දි අත්වෙලා තියෙනවා. ඒ අස්සෙ තියෙන අනිත් අවුල තමයි මුංව කන්න බැරි එක. මුංට ධීවර වටිනාකමකුත් නෑ. ධීවරයෝ මුං දැලේ පැටලෙනවට කැමතිත් නෑ. මොකද අල්ලගත්තට විකුණගන්න බැරිවා විතරක් නෙමෙයි මේ හාදයගේ පිට කටු ටික නිසා දැළටත් බඩු බනිස් වෙන එක ශුවර්. මේ ඔක්කොම වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි ටැංකිය අරං කඩෙං ගේන මාළුවා ටිකක් කල් ගියාම තියාගන්න බෑ කියල හිතෙන අපේ තියෙන මරි මෝඩ ගතිය වගේම අපේ තියෙන පාරිසරික නූගත් කම කියන කාරණා දෙක නිසා.
කොහොම උනත් මේ වෙද්දි විනාසේ පටං අරං ඉවරයි. අපිට පුළුවං එකම දේ තමයි ඇවිලෙන ගින්නට පිදුරු නොදාන එක. ඒ නිසාම මුලිං රැල්ලට ගේන්න කලිං ගේන මාළුවා ගැන පොඩ්ඩක් හොයලා බලලා ඉන්න. කඩෙං සල්ලි ගෙවලා අරං එන මාළුංව මැරෙනකං බලාගන්න.මොකද මිනිස්සු අපිට ස්වභාවික පරිසරය වෙනස් කරන්න කිසිම නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නෑ. මේ ඉන්නෙත් ප්ලෙකෝලම තමයි. හැබැයි වැඩිය කඩවල් වල හොයාගන්න නෑ මෙයාලව

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *